ගෑස්; අවසන් වාර්තාව හෙට (20) ජනපතිට...

දෙසැ 19, 2021

    අධිකරණය ලබාදුන් උපදෙස් පිළිපදිමින් හෙට සිට ගෑස් වෙළෙඳපොළට නිකුත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර තිබෙනවා.

    ඒ අනුව, අදාළ සමාගම් දෙකට අවශ්‍ය උපදෙස් නිකුත් කරන ලෙසයි, ඔහු එම අධිකාරියට දැනුම්දී ඇත්තේ. මේ අතර, ගෑස් අනතුරු පිළිබඳ අවසන් වාර්තාව හෙට ජනාධිපතිතුමාට බාර දෙන බව, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ විශේෂඥ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පවසනවා. අදාළ වාර්තාව සම්පූර්ණයෙන් සකසා ඇති බවයි, ඔහු කියා සිටියේ.

    ගෑස් අනතුරු පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුව මීට සති දෙකකට පෙර පත්කරනු ලැබුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. කමිටුව අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡා කර ගෑස් අනතුරු අධ්‍යයනය කරමින් වාර්තාව සකස් කර තිබෙනවා. ක්‍ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන සාමාජිකයින් 08 දෙනෙකු විශේෂඥ කමිටුවට ඇතුලත්.

    මේ අතර, ගෑස් රැගත් නෞකා 03 ක් ශ්‍රී ලංකා වරාය ආසන්න මුහුදට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ ඊට සම්බන්ධ ආයතන ලබාදුන් තත්ත්ව වාර්තා මත එක් කෞකාවක් ගෑස් ගොඩබෑමට දැනටමත් අවසර ලබදී ඇති බවයි, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසන්නේ. ගෑස් ගොඩබෑම සඳහා අදාළ පරික්ෂා කිරීම්වල වාර්තා සලකා බලා අනුමැතිය දීමේ බලය ජනාධිපතිතුමා පවරා ඇත්තේ, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතාටයි.

    අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ගොඩබෑමට අවසර දී ඇති නෞකාවේ ගෑස් සංයුතිය පිළිබඳ කළ පරික්ෂාවේදී ප්‍රොපේන් 30% ක සහ බියුටේන් 70% ක මට්ටමක පැවති බවයි. එහි ගෑස් ගන්ධය වහනය වන මර්කැප්ටන් රසායනිකයව ද යොදා තිබෙනවා. තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, අනෙක් නෞකා 02 හි ගෑස් සංයුතිය පිළිබඳව ද අදාළ ආයතනය පරික්ෂා කරන බවයි.

    Last modified on ඉරිදා, 19 දෙසැම්බර් 2021 19:12

    Latest News