ලිට්‍රෝ ගෑස් සමාගම අධිකරණයට ලබාදුන් ප්‍රතිඥාව

දෙසැ 16, 2021

    මින් මතුවට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ගෘහස්ථ ගෑස් පමණක් වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම අද අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය. 

    ගෘහස්ථ ගෑස් සිලින්ඩර වලින් සිදුවන ගෑස් කාන්දුවීම හේතුවෙන් සිදු වූ අනතුරු පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා මෙම දැනුම් දීම සිදු කළේය. 

    මෙම පෙත්සම අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    ඒ අනුව ඊයේ දින අභියාචනාධිකරණය විසින් කළ දැනුම්දීම පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් දිවුරුම් පෙත්සම් දෙකක් ඔවුන්ගේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. 

    එම දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කරමින් නීතිඥ අමරසේකර මහතා අධිකරණයට දන්වා සිටියේ මින් මතුවට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරනු ලබන ගෘහස්ථ ගෑස් පමණක් වෙළෙඳපොළට මුදාහරින බව ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

    එමෙන්ම ගෑස් සිලින්ඩරයක් තුළ අන්තර්ගත ගෑස් වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් එම සිලින්ඩරය මත ප්‍රදර්ශනය කිරීමට එකඟ වන බවයි, ඔහු තවත් ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කළේ.

    මෙම අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ ඉකුත් දිනවල වාර්තා වූ ගෑස් අනතුරුවලින් සියයට අනූවකට වඩා ප්‍රමිතියෙන් තොර උදුන් හා උපාංග හේතුවෙන් සිදු වී ඇති බවට විමර්ශන වලින් තහවුරු වී ඇති බවයි. 

    පාරිභෝගික සේවා අධිකාරිය සහ ප්‍රමිති කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අන්තර්ගත විය යුතු සංයුතිය පිළිබඳව තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් ලබන 20 වැනිදා විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවයි.

    එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රමිතිය හා සංයුතිය පිළිබඳව කඩිනම් තීන්දුවක් ගනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය එම කරුණුවලට අදාළව තම නියෝග හෙට දින ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය. 

    Last modified on බ්‍රහස්පතින්දා, 16 දෙසැම්බර් 2021 12:25

    Latest News