ලංකා පොහොර සමාගමෙන් Qingdao චීන සමාගමට වාරණ නියෝගයක්...

ඔක් 23, 2021

    චීනයේ කුවින්ග්ඩාඕ සමාගමට හා එහි ශ්‍රී ලංකා නියෝජිතයාට මෙන්ම, මහජන බැංකුවට එරෙහි වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් පනවා තිබෙනවා.

    ඒ, අදාළ සමාගම නැව්ගත කොට ඇති කාබනික පොහොර තොගයක් මෙරටට ඇතුළුකර ගැනීම වළකාලමින්.  මෙම වාරණ නියෝගය මගින් චීනයේ කුවින්ග්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් කම්පනි වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුවෙන් කිසිදු ගෙවීමක් සිදු කිරීම අත්හිටුවා තිබෙනවා.

    එම චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිදු ගෙවීමක් ලබා ගැනීමද මෙමගින් අවහිර කර තිබෙනවා. වාරණ නියෝගය ලබාගැනීමට අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ, සීමාසහිත ලංකා පොහොර සමාගමයි.  ගිවිසුම යටතේ චීන සමාගම විසින් ජීවානුහරණය කරන ලද කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුවද, ඒවායේ ක්‍ෂද්‍ර ජීවීන් අඩංගු විය හැකි බව සිය නෞකා උපදෙස්වලදී සමාගම පිළිගෙන තිබෙනවා.

    එවන ලද නියැදිය පරික්ෂා කිරීමේදී, ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට ජාතික ශාඛ නිරෝධායන සේවය මගින් තහවුරු කෙරුණා. මෙම තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රුපියල් බිලියනයකට වඩා වැඩි ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබාගත් නැව්ගත කිරීමක කොටසක් බවයි වාර්තාවී ඇත්තේ.

    අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුසන්ත බාලපටබැඳි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන්, ඇතුළු නීතීඥවරුන් පිරිසක් ලංකා පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටියා.

    Latest News