හරි දේ කිරීම අභියෝගයක්, ඊට එක්ව මුහුණ දෙමින් ඉදිරියට යමු; ජනපති

ඔක් 21, 2021

    හරි දේ කිරීම විශාල අභියෝගයක් බවත්, ඊට එක්ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    ගොවිජන සේවා නිලධාරීන් සමග අද (21) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය. ගොවීන් මුහුණ දෙන අපහසුතාවලට විසඳුම් දීමෙන් අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී ගොවීන් හමුවට ගොස් කරුණු පැහැදිලි කර දීම ඉතා වැදගත් බව සඳහන් කළේය. පරිසරයත්, මහජන සෞඛ්‍යාරක්‍ෂාවත් රැක ගනිමින් වැඩි ආදායමක් ගොවියා අතට පත් කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවයි. හරිත කෘෂිකර්මාන්තයේ ඉලක්කය එක් කන්නයකට, දෙකකට පමණක් නොව පරම්පරා ගණනකට සෙත සැලසීම බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු හඳුනාගෙන ඒ පිළිබඳ රජය දැනුවත් කිරීම නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එවිට එම ගැටලු විසදීමේදී විශේෂඥ සහාය ලබා ගැනීමේ හැකියාව උදා වන බව ද සඳහන් කළේය. වැරදි දෙයක් කරන්නැයි තමා කිසිවිටෙක කිසිවෙකුගෙන් ඉල්ලා සිටින්නේ නැතැයි ද ජනාධිපතිතුමා නිලධාරීන් හමුවේ අවධාරණය කළේය.

    හරිත කෘෂිකර්මාන්තයට අවතීර්ණ වීම නිසා වගා කෙරෙන භූමි ප්‍රමාණයේ අඩුවකට ඉඩ තැබිය නොහැක. කාබනික පොහොර භාවිතය සමග ඉදිරියට යාමට ගොවීන් දිරිගැන්වීම රට වෙනුවෙන් සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ලෝකයේ පිළිගත් ඉහළම පරිසර හිතකාමී පොහොර ගොවියා අතට පත් කිරීම සඳහා නයිට්‍රජන් පෝෂක සහිත දියර නයිට්‍රජන් ගෙන්වීමට රජය පියවර ගත්තේය. නැනෝ තාක්ෂණය භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති මෙම දියර පොහොරවල ඇති නයිට්‍රජන් සංඝටක ශාඛ පත්‍ර මගින් සෘජුවම අවශෝෂණය කර ගනී. එම දියර නයිට්‍රජන් ඉදිරියේ දී සියලු ගොවීන්ට ලබාදීමට රජය කටයුතු කරනබව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    අස්වැන්න අඩුවීම පිළිබඳ ගොවීන් තුළ අනිසි බියක් මතුව ඇති අතර නිසි කලට පොහොර ගොවීන් අතට පත් කිරීමෙන් සහ නිවැරදි දැනුවත් කිරීමෙන් ගොවීන් තුළ වන බිය සහ පසුබෑම සමනය කරගත හැකි බව පැවසූ ගොවිජන සේවා නිලධාරීහූ ගොවීන් නිෂ්පාදනය කරන කාබනික පොහොරවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් එම පහසුකම් පුළුල් කර දෙන ලෙස ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. රජය විසින් ගොවීන්ට ලබා දී ඇති දිරි දීමනා, මූලික ගෙවීම් මේ වන විට නිදහස් කරමින් තිබේ. ඉදිරි කන්නවලදී කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවද නිලධාරීහු සඳහන් කළහ.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, දිස්ත්‍රික්ක 08ක් නියෝජනය කරමින් දිස්ත්‍රික් සහකාර සහ නියෝජ්‍ය ගොවිජන සේවා කොමසාරිස්වරු, ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරීහු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

    Latest News