ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්වය සිහිගන්වමින් කුෂිනගර් ගුවන් තොටුපළ විවෘත වෙයි

ඔක් 21, 2021

    වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ කපිලවස්තු සර්වඥ ධාතුන්වහන්සේලා, මහා සංඝරත්නයේ සියක් නමක් සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිසක් රැගත් ශ්‍රීලංකන් ගුවන් යානයක් පළමු වරට ගොඩබැස්සවීමත් සමඟ ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපොළෙහි අන්තර්ජාතික ගුවන් මෙහෙයුම් අද(21) උදෑසන ආරම්භ විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර 2020 සැප්තැම්බර් 20වැනි දින සූම් ඔස්සේ පැවති ද්විපාර්ශවික සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඓතිහාසික ගමන සැළසුම් කෙරිණි.

    ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිහිටි කුෂිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපළ එරට 29 වැනි අන්තර්ජාතික ගුවන් තොටුපොළයි.

    අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතා අද පෙරවරුවේ කුෂිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපළ නිල වශයෙන් විවෘත කළ අතර අනතුරුව පැවැති උත්සව අවස්ථාවේ දී බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූ කුසිනාරා නුවර (කුෂිනගර්)හි බෞද්ධයන්ට ඇති වැදගත්කම සහ මහා සංඝරත්නය පෙරටු කොටගත් ශ්‍රීලංකන් ගුවන් යානයක් පළමු ගුවන් යානය ලෙස එහි පැමිණීමේ ඓතිහාසික වැදගත්කම පෙන්වා දුන්නේය.

    අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ ඇතුළු ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ සියක් නමක් මෙම ඓතිහාසික ගමනට වැඩම කළහ. වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරයෙහි කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලා සමඟ එම විහාරාධිපති වස්කඩුවේ මහින්ද වංශ හිමියෝ ද ඒ අතර වූහ.

    මෙම ඓතිහාසික අවස්ථාවට එක්වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් කුෂිනගර් හි දී පැවැත්විණි.

    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම හමුවේ දී භගවත් ගීතාවේ සිංහල,දෙමළ සහ ඉංගිරිසි පරිවර්තන ග්‍රන්ථය පළමු පිටපත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට පිළිගැන්නුවේය.

    “ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ශ්‍රේෂ්ඨතම ත්‍යාගය බුදු දහමයි. අපි සැම විටම දෙරටේ ජනතාව අතර සමීප සබඳතා පවත්වා ඇත්තෙමු. එය අතිගරු ජනාධිපතිතුමාගේ ද දැක්ම” යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම හමුවීමට අදාළව අදහස් ප්‍රකාශ කර තිබේ.

    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අදහස් පළ කරමින් කුෂිනගර් හි දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවීම සතුටට කරුණක් බවත් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් වෙමින් පවතින බවත් සඳහන් කරමින් එය දෙරටේම ජනතාවට යහපතක් උදාකරනු ඇති බවටත් විශ්වාසය පළ කර ඇත.

    Latest News