අරලියගහ මන්දිරයේ පැවැති නවරාත්‍රී පූජාව

ඔක් 13, 2021

    ලොව පුරා හින්දු ආගමිකයින් විසින් පවත්වනු ලබන නව රාත්‍රී පූජාව ඊයේ (12) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    ඉන්දියානු රාජ සභා සාමාජික ආචාර්ය සුබ්‍රමනියම් සාමි මහතා ද මෙම නව රාත්‍රී පූජෝත්සවය සඳහා එක්ව සිටීම විශේෂත්වයකි. සියලුම හින්දු භක්තිකයන් මවක ලෙස ගරු කරන ‘ශක්ති දෙවියන්’ නමස්කාර කිරීම චාරිත්‍රානුකූලව දින නවයක් පුරා මෙම ආගමික වතාවත්වලට සමඟාමීව සිදුවෙයි.

    කොවිඩි වසංගතය හේතුවෙන් ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති නව රාත්‍රී පූජෝත්සවය අග්‍රාමාත්‍ය හින්දු ආගමික කටයුතු සම්බන්ධීකාරක රාමචන්ද්‍ර කුරුකල් බාබු ෂර්මා, මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක තුරෛසාමි උදයරාගව කුරුකල් සහ පුජක අරුණ ප්‍රශාන්තන් ෂර්මා යන පුජකතුමන්ලා මෙහෙය වූහ. දරුවන්ගේ කතා සහ නර්ථන අංගවලින් අරලියගහ මන්දිරයේ පැවති නව රාත්‍රී පූජෝත්සවය වර්ණවත් විය.

    මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ආචාර්ය සුරේන් රාඝවන්, මයුරපන්දි රාමේෂ්වරන්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, විනිසුරු කේ. ශ්‍රීපවන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සෙන්දිල් තොණ්ඩමන්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News