රංජන්ගේ හඩපට සිද්ධියේ විනිසුරු ගිහාන්ට එරෙහි ප්‍රමාණවත් සාක්ෂි නැතැයි අභියාචනාධිකරණයට දැනුම් දෙයි

ඔක් 13, 2021

    හිටපු අමාත්‍ය රංජන් රාමනායකගේ හඬ පට සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් නම් කරන ලද මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව සිදුකළ විමර්ශනවලදී ඒ මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බව පොලිස්පතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

    නීතිපති උපදෙස් මත තමාට එරෙහිව පොලිසිය විසින් නඩු පැවරීමට ගත් ක්‍රියාමාර්ගය බලරහිත කරන ලෙස ඉල්ලා ගිහාන් පිලපිටිය මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

    සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම කැඳවනු ලැබීය.

    තම සේවාදායකයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලදී අනාවරණය නොවන්නේ නම් ඔහු නිදහස් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙහිදී අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම පිළිබඳ නියෝගය ලබන 25වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි නියම කළේ.

    රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මකව දුරකථන ඇමතුම් සිද්ධියෙන් පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට මීට පෙර උපදෙස් ලබා දී තිබිණ.

    ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මහාධිකරණ විනිසුරුවරයාට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඔහු විසින් ඊට එරෙහිව ගිහාන් පිලපිටිය මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

    එම රිට් පෙත්සම මූලික වශයෙන් සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම්කාර මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කර තිබෙන විමර්ශන කටයුත්ත අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබිණ.

    Latest News