ජාතික උරුම කළමනාකරණයට ස්වාධීන ආයතන ව්‍යූහයක් ; විද්වත් කමිටුවෙන් යෝජනා

ඔක් 11, 2021

    ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා ස්වාධීන ආයතන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතු බව ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට පත්කෙරුණු විද්වත් කමිටුව යෝජනා කොට තිබේ.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ ඔක්තෝබර් මස 19 වැනි දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් පරිදි මෙම විද්වත් කමිටුව පත්කෙරුණු අතර එම කමිටු වාර්තාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ශ්‍රී ලාංකිකයන් සතු ජාතික උරුමයන් හඳුනා ගැනීම, ලේඛනගත කිරීම, ප්‍රකාශයට පත්කිරීම, අභිරක්ෂණය, නියාමනය, අත්පත්කර ගැනීම, පර්යේෂණ පවත්වාගෙන යාම සහ පර්යේෂණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම සඳහා මෙම ස්වාධීන ආයතන ව්‍යුහය ස්ථාපිත කළ යුතු බවත් එම වාර්තාවේ සඳහන් වේ.

    එම ස්වාධීන ආයතනික ව්‍යුහය සකස් කෙරෙනතුරු අමාත්‍යාංශ ලේකම්වරයාට ඊට අදාළ උපදෙස්දීම, මඟපෙන්වීම සහ සැලසුම් කිරීම, තාක්ෂණික දායකත්වය යනාදිය සඳහා සත්සාමාජික අන්තර්කාලීන නියාමන කමිටුවක් පත් කළ යුතු බවත් එම වාර්තාවෙන් යෝජනා කොට ඇත.

    Latest News