අකුණු සන්නායකයක් අලෙවි කිරීමට මුදල් එකතු කර, වංචා කළ 09 දෙනෙකු අත්අඩංගුවට

ඔක් 11, 2021

    අකුණු සන්නායකයක් අලෙවි කර මුදල් ලබාදෙන බවට පුද්ගලයන්ගෙන් මුදල් එකතු කර වංචා කළ සැකකරුවන් 09 දෙනෙකු නුවරඑළිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    අකුණු සන්නායකයක් රු කොටි 800 කට අලෙවි කර ඒ සඳහා මුදල් අයෝජනය කරන අයට පස් ගුණය බැගින් නැවත ගෙවන බවට ගිවිසුම් අත්සන් කර වංචාවක් සිදු කළේ යැයි කියන සැකකරුවන් 09 දෙනෙකු ඊයේ (10) දින පස්වරුවේ නුවරඑලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    සමාජ මාධ්‍ය ඔස්සේ සැකකරුවන් අකුණු සන්නායකයක ඡායාරුප පෙන්වා එම අකුණු සන්නායකය රු කොටි 800 කට අලෙවි කිරිමට හැකි බවත්, ඒ සදහා මුලින් මුදල් ආයොජනය කරන අයට අයෝජනය කළ මුදල මෙන් පස් ගුණයක් වැඩියෙන් මුදල් ලබාදෙන බවට පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති බවට දැනට කරන ලද මුලික පරික්ෂණවල දී අනාවරණය වී ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බවයි නුවරඑලිය පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

    පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතාගේ අධික්ෂණය යටතේ නුවරඑලිය කොට්ඨාශ වංචා විමර්ෂණ අංශය , නුවරඑලිය පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් දින දෙකක් තිස්සේ සැකකරුවන් ලුහුබැද නුවරඑලිය ටොපපැස් ප්‍රදේශයේදි ඊයේ දින පස්වරුවේ සැකකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහුන් සන්තකයේ රු එක් කොටි තිස් තුන් ලක්ෂ හැටදහසක මුදලක්, මුදල් ආයෝජනය කළ කිහිප දෙනෙකු සමග ඇතිකර ගත් ගිවිසුම් කිහිපයක් සහ මොටර් රථ 03 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    අවු 35-60 වයස්වල පසුවන සැකකරුවන් කොළඹ, මහනුවර, කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, සැකකරුවන් නුවරඑලිය ප්‍රදේශයට පැමිණ තවත් කිහිප දෙනෙකුගෙන් මුදල් ලබා ගැනිමට උත්සහ කිරිමේදි පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑලිය මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර, නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවිම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් වෙන් වෙන්ව පරික්ෂණ පවත්වයි.

    Latest News