විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා ඩිජිටල්කරණය වැඩිදියුණු කිරීමට සැ‍රසේ

ඔක් 08, 2021

    මහජනතාවට කඩිනම් සේවා ලබා දීම සඳහා පහසුකම් සැපයීම පිණිස විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් සේවාවල දැනට පවතින ඩිජිටල්කරණ මට්ටම වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් මහතාගේ අවධාරණය යොමුව තිබේ.

    ඒ අනූව, ජෛවමිතික ඇතුළත් ඩිජිටල් ජාතික හැඳුනුම් අංකයක් 2023 වසර වන විට නිකුත් කිරීමට අදහස් කරන බව ද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    මෙම ඩිජිටල් හැඳුනුම් අංකය සෑම පුරවැසියෙකුටම නිශ්චිත වන අතර එය උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වාම අදාළ වන අතර, බැංකුගිණුම, බදු ලිපි ගොනුව, රක්‍ෂණය, විදේශ ගමන් බලපත්‍රය සහ පාසලට ඇතුළත් කිරීම වැනි විවිධ පුරවැසි ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ කෙරෙනු ඇති.

    එබැවින් ආධාරක ආයතන ද ඩිජිටල්කරණය කර මෙම ක්‍රියාවලියට සමගාමී කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ශ්‍රී ලාංකික ජනතාව විශාල ප්‍රමාණයක් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා ලබා ගන්නා හෙයින්, කොන්සියුලර් අංශය විසින් දැනට භාවිතා කරන විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතිය
    (e-DAS) වහාම වැඩිදියුණු කිරීම හෝ නව පද්ධතියක් හඳුන්වා දීම සඳහා මෙහිදී එකඟත්වය පළ විය.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එහි නියෝජිතයින් හරහා විදේශ රැකියා සඳහා පහසුකම් සැලසීමට පොලිස් දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව වැනි වෙනත් ආයතන සමඟ කොන්සියුලර් අංශය ඩිජිටල් වශයෙන් ඒකාබද්ධ කිරීම මෙහි අරමුණයි.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ඕෂද සේනානායක මහතා සඳහන් කළේ, ගම්බද ප්‍රදේශවලින් සේවා අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන බව සැළකිල්ලට ගනිමින්, පුරවැසියෙකුගේ දෘෂ්ඨිකෝණයෙන් මෙම ගැටලුවට පූර්ණ වශයෙන් අවතීර්ණ වී ඒවාට විසඳුම් සෙවිය යුතු බවයි.

    එබැවින් සේවා ලබා ගැනීම සඳහා සේවා අපේක්ෂයන් පුද්ගලිකව පැමිණීම හැකිතාක් දුරට වැළැක්වීම අත්‍යවශ්‍ය කරුණක්වී ඇත.

    තනි ගෙවුම් ද්වාරයක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ලබන වසරේ දෙවැනි කාර්තුව වන විට මෙම ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීම සඳහා මෙහෙයුම් ක්‍රමවේදයක් සකස් කිරීමට අන්තර් නියෝජිත කමිටුවක් පත් කිරීමට තීරණය කෙරිණි.

    Latest News