මෙරට අධ්‍යාපනයට කොරියාවෙන් ආධාර රැසක්...

සැප් 28, 2021

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආධාර ලබාදීමට කොරියානු රජය එකඟතාව පළකර තිබේ.

    ඒ යටතේ පුනර්ජනනීය බලශක්තිය, ගණිත සහ භාෂා සංවර්ධනය, තාක්ෂණික සංවර්ධනය සහ මානව සම්පත් යන අංශයන්හි සංවර්ධනය උදෙසා ආධාර ලබාදීමට නියමිතයි.  

    මේ පිළිබඳව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් (Santush Woonjin Jeong) මහතා අතර අද (28) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.

    කොරියානු ආධාර යටතේ, කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා “ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය සඳහා වඩාත් හොඳ භෞතික පරිසරයක් ගොඩනඟා දීම” මැයෙන් වන ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

    ඒ යටතේ ගුරු පුහුණුව, විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා ආදර්ශ විද්‍යාල 04ක් ක්‍රියාවට නැංවීම,‍ පන්තිකාමර අලුත්වැඩියාව සහ ඉදිකිරීම් ,පාසල්වල විශේෂ අධ්‍යාපනික ඒකක සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමට ද නියමිතයි.

    ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ පාසල්වලට සහ ගුරුවරුන්ට සැපයීම, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ශක්‍යතා සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාවට නැංවීම, සහ සමාජ ඒකාබද්ධතාවය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ආදිය ව්‍යාපෘතිය මගින් සිදුකිරීමට අපේක්ෂිතයි.

    Last modified on අඟහරුවාදා, 28 සැප්තැම්බර් 2021 18:04

    Latest News