මහ බැංකු අධිපතිවරයාගේ පත්වීමට එරෙහිව සමගි ජන බලවේගයෙන් පෙත්සම්

සැප් 23, 2021

    අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කළා.

    සමගි ජන බලවේගය මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර හා එම පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන මනුෂ නානායක්කාර යන මහත්වරු විසින් එම පෙත්සම් ඉදිරිපත් කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරු නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති වරයා වශයෙන් පත් කරනු ලැබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබෙන බවයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ මත සිදුකරන ලද වොහාරික විගනන පරීක්ෂණය තුළින්ද අජිත් නිවාඩ් කබ්රාල් මහතාට බරපතළ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ චෝදනා එල්ල වී තිබෙන බවද පෙත්සම්කරුවන් සඳහන් කළා.

    එමෙන්ම අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැඩි ලෙස දේශපාලනීකරණය වූ පුද්ගලයකු බවත් ඔහු 2020 වසරේ පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දෙනවා.

    මෙවැනි දේශපාලනය කරණය වූ මෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින පුද්ගලයෙකු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත් කිරීම තුළින් ජනතා අපේක්ෂාවන් බිඳවැටෙන බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම්රුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    ඒ අනුව ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති වරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පත්කිරීම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳව සිදුකෙරුණු වොහාරික විගණන පරීක්ෂණ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදුකළ ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

    Latest News