ඖෂධ අධිකාරියේ දත්ත මැකීයාම ගැන තවත් හෙළිදරව්වක්

සැප් 21, 2021

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම හේතුවෙන් දිවයින පුරා ඖෂධ හිඟයක් හෝ බාල ඖෂධ බෙදා හැරීමක් සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ජනතාව විසින් ඇති කර නොගත යුතු බව, ඖෂධ නියාමන සහ සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදු ලේඛන ගත වූ ඖෂධ වෙළෙඳපළට නිකුත් වීමක් සිදු නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, මැකී යාම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    තවද, 'කොවිඩ් 19' වෛරසය සඳහා අදාළ ඖෂධ සහ එන්නත් ගෙන්වීමේ දත්ත මැනුවල් ක්‍රමයට සිදු කළ බැවින් එම දත්ත කිසිවකට හානි නොවූ බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මෙහිදී දත්ත ගොනු 5925ක් මැකී ඇති බවත් එයින් 53%කම (ගොනු 3137කම) ඇත්තේ සාමාන්‍ය ඔසුසැල් ලියාපදිංචිය සම්බන්ධ වූ දත්ත බවත්, පේටන්ට් අයිතිය ලබා ගැනීම සම්බන්ධව වූ බුද්ධිමය දේපළ සම්බන්ධ දත්ත කිසිවක් මැකී ගොස් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

    එමෙන්ම, මෙම දත්ත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ගෙන ඇති බවත් BACKUP යොදා ගෙන එම දත්ත ප්‍රතිස්ථාපනය කර ඇතැයිද, ඉක්ටා ආයතනය පහසුකම් සපයන අනෙකුත් රාජ්‍ය ආයතනයන්ගේ දත්ත පද්ධතිවලට කිසිදු අනතුරක් නොවන බවට ඉක්ටා ආයතනය දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    කිසිදු අවස්ථාවක විවිධ වෙළෙඳනාම ඔස්සේ ඖෂධ ආනයනය කරන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන් වලට ඖෂධ අලෙවි කිරීමේ අවධානමක් නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.

    Latest News