දැවිතෙල් ජාවාරමෙන් රටට අහිමිවන විදේශ විනිමය ගැන සෙවීමට කමිටුවක්

සැප් 01, 2021

    දැවිතෙල් ජාවාරම හරහා රටට ඩොලර්වලින් අහිමි කරවන විදේශ විනිමය නැවතත් රටට ලබා ගැනීමට  කරුණු අධ්‍යයනයට  විශේෂ කමිටුවක් පත් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.   

    මෙරටට  පැමිණෙන නැව් මගින් ගොඩබාන දැවිතෙල් හරහා සිදු කෙරෙන දැවැන්ත ජාවාරම සම්බන්ධව ඊයේ (31) පෙරවරුවේ ZOOM තාක්ෂණය ඔස්සේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බලධාරීන් සමග සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. 

    එම සාකච්ඡාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාළක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව ආදී ආයතන රැසක නිලධාරිහු රැස්වූහ.

    නැව්වලින් බැහැර කරන දැවිතෙල් හරහා සිදුවන අක්‍රමිකතා හා එම ක්‍රියාවලියේ  ඇති අවිදිමත්භාවය හේතුවෙන් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඩොලර්වලින් වාර්ෂිකව අහිමි වන බව තහවුරු වී තිබේ. 

    දැවිතෙල් බැහැර කිරීමේ කටයුතුවල දැනට නියුතුව සිටින පුද්ගලයින් හා ආයතන ඒ පිළිබඳව  ජාත්‍යන්තරය විසින් අනුගමනය කරන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කරයි.  ඔවුන් අප රටෙන් ඩොලර් ගෙවා නැව්වලින්  දැවිතෙල් මිල දී ගැනීම නිසා වාර්ෂිකව විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට අහිමි කරවන  බව පරිසර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

    අවිදිමත් ලෙස දැවිතෙල් බැහැර කිරීම නිසා එක් අතෙකින් ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ද,  එමෙන්ම පාරිසරික හානිය හා සෞඛ්‍යමය බලපෑම ද  ඉහළ මට්ටමක පවතී.

    අප රටේ එම ව්‍යාපාරයෙහි  නිරතව සිටින කිහිප දෙනෙකු අතර පවතින  තරගකාරිත්වය හේතුවෙන් රටට ආදායම් අහිමි කරන තත්ත්වයක් උදාකර තිබේ. ජාත්‍යන්තර නීතිය අනුව නැවක් එක් වරායක සිට තවත් වරායකට එන විට එම නැව තුළ එකතුවන දැවිතෙල් අවසන් වරාය විසින් බාර ගත යුතුය. එමෙන්ම එම රටට සිදුවන පාරිසරික හානිය හේතුවෙන් අදාළ නැව විසින් යම් මුදලක් වන්දියක් වශයෙන් අදාල රටට ගෙවිය යුතුය.

    එ‍හෙත් අපේ රටේ මෙතෙක් සිදුව ඇත්තේ නැව්වලට මුදල් ගෙවා ඔවුන් බැහැර කරන අපද්‍රව්‍යයක් වන දැවිතෙල් මිල දී  ගැනීම බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය. 

    එමනිසා මෙම කාරණය සම්බන්ධව සොයා බලා සුදුසු ඉදිරි පියවර යෝජනා කිරීම සඳහා වහාම කමිටුවක් පත්කිරීමට අමාත්‍යවරයා තීරණය කරනු ලැබීය.

    එමෙන්ම නැව්වලින් දැවිතෙල් බැහැර කිරීමේ දී ලොව සෙසු රටවල් අය කරන මිල ගණන් අධ්‍යයනය කර එවැනි මුදලක් අය කිරීමට  අපේ රටේ ද කටයුතු කළ යුතු යැයි ද,  විශේෂයෙන් එම මුදල ඩොලර්වලින් අය කර ගැනීමට සැළසුම් කළ යුතු යැයිද  අමාත්‍යවරයා ඊයේ (31)  පැවැති සාකච්ඡාවේදී අවධාරණය කළේය.

    දැවිතෙල් බැහැර කිරීමේ ක්‍රියාවලිය  සඳහා බලපත් ලබා දීමේ දී දැවිතෙල් පිරිපහදු පහසුකම් ඇති අයට පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු බව ද අමාත්‍යවරයා කියා සිටියේය. දැනට එවැනි පිරිපහදු පහසුකම් ඇත්තේ ආයතන දෙකකට  පමණි.

    මේ සඳහා පත්කරනු ලබන කමිටුව විසින් මෙම කටයුතු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමටත්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත  දැවිතෙල් බැහැර කිරීමේ වැඩ පිළිවෙළ විදිමත් කිරීමටත් පියවර ගත යුතුයැයි ද අමාත්‍යවරයා යෝජනා කළේය. 

    දශක කිහිපයක් තිස්සේ මෙම වැඩ පිළිවෙළ අවිදිමත් ලෙස සිදුව ඇති නමුත් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා රටේ ආර්ථිකයට හා පරිසරයට මෙන්ම මහජන සෞඛ්‍යයට ද විශාල බලපෑමක් එල්ල කර ඇති බව මෙම සාකච්ඡාවට සහභාගි වු සියලු නිලධාරිහු  පිළිගත්තේය.

    Latest News