දැල්පන්දු ක්‍රීඩිකාවන්ට;අංගම්පොර අජන්තට සජිත්ගෙන් ගෙවල්(ඡායාරූප)

පෙබ 13, 2019
    ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ අනාගත අභිවෘද්ධිය උ‍දෙසා නොමිලේ නිවාස ලබාදීමේ දී එහි ගරුත්වය සම්පූර්ණයෙන් හිමිවිය යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බව, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
    ජනතාවට නොමිලේ නිවාස ලබා දීමට නිවාස අමාත්‍යංශයට නොහැකි යැයි සමහර පුද්ගලයින් චෝදනා එල්ල කරන විට එම අසත්‍ය චෝදනා ඇතැම් මාධ්‍යවල සිරස්තල සහිතව ප්‍රවෘත්ති පළ වූ බවත්, නමුත් අද දින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ නිවාස 13 ක් ලබා දීම මගින්, එදා සිරස්තල සහිතව පළ වූ ප්‍රවෘත්ති අද මුසාවන් බවට පත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 
    එළැඹෙන මැයි මාසයේ සැම්බියාවේදී පැවැත්වෙන දැල්පන්දු තරගාවලියට සහභාගීවීමට නියමිත 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ගුවන් ටිකට් පත් ලබා ගැනීම සඳහා වැයවන රුපියල් ලක්ෂ 42 කට අධික මුදල තමන් පෞද්ගලික ධානපතින්ගේ සහයෝගය ඇතිව නොමිලේ ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි පොරොන්දු විය. 
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට සහ අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරාට නව නිවාස පිරිනැමීම වෙනුවෙන් ඊයේ (12) දින බත්තරමුල්ල සෙත්සිරිපායේ 8 වන මහලේ පිහිටි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. 
    නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නොමිලේ මෙම නිවාස පිරිනැමුණ අතර සියලු පහසුකම් සහිත මෙම එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් වේ. 
    2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇත.  අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ පදිංචි අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරා මහතා දේශයේ වියැකී යන අංගම්පොර ක්‍රීඩා කලාව ජාත්‍යන්තරයට ඔසවා තැබූ ශ්‍රී ලාංකීය එකම සටන් ක්‍රීඩකයාය. 
    මෙම අවස්ථාවට ජලනි ප්‍රේමදාස මැතිණිය, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.
    IMG 20190213 WA0002
     
    IMG 20190213 WA0004
     
    IMG 20190213 WA0009
     
    IMG 20190213 WA0007
     
    IMG 20190213 WA0011
     
    Last modified on බදාදා, 13 පෙබරවාරි 2019 10:53

    Latest News