රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම ගැන නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ (වීඩියෝ)

ජූලි 31, 2021
  • සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ලබන මස දෙවැනි දින සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

    කොවිඩ්-19 වෛරස පාලනය සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැදවමින් සහ නිවසේ සිට රාජකාරී කිරීමට අදාළ චක්‍රලේඛ සියල්ල ලබන 01 වැනිදායින් අහෝසි වනු ඇති.


    රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ දී රාජ්‍ය නිලධාරීන් හා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සපයනු ලබන උපදෙස් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක කළ යුතුයි. නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආයතනික කාර්ය මණ්ඩලය මෙන්ම, සේවා ලාභීන් ද කොවිඩ් වසංගතය ආසාදනය වීම වළක්වා ගනිමින් සේවා සැපයීමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන බව ද චක්‍රලේඛයේ සඳහන්.


    ලබන 2 වැනිදා සිට රජයේ නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය විධි විධාන අනුගමනය කළ යුතුයි.

    යම් රජයේ නිලධාරියෙකු නිරෝධායන රෙගුලාසි යටතේ නිරෝධායනයට යොමු කර ඇත්නම් හා එසේ නිරෝධායනයට යොමු කර ඇත්තේ රජයේ නිරෝධායන නීතිරීති උල්ලංඝණය කිරීමෙන් සිදුවන දඩුවමක් ලෙස නොවන්නේ නම් එම නිලධාරියාගේ නිරෝධායන කාලසීමාව සම්පූර්ණ වැටුප් සහිත කාලසීමාවක් ලෙස සැලකිය යුතු බව ද එම චක්‍ර ලේඛයේ සඳහන්.


    මේ අතර වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ,සියලු රාජ්‍ය නිලධාරීන් තවදුරටත් නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවයි.

    Last modified on සෙනසුරාදා, 31 ජූලි 2021 15:09

    Latest News