ඩෙංගු යළි හිස ඔසවන ලකුණු

ජූලි 30, 2021

    පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් මේ වසර තුළදී වාර්තා වන අතර ඩෙංගු වයිරස් කාණ්ඩ හතරම රට තුළ සැරි සරන බවට පර්යේෂණ වාර්තාවන්ගෙන් තහවුරු වී තිබේ.

    ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද‍්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව කළ නියැදි පර්යේෂණයකදී මේ බව තහවුරු වී ඇති බවත් වයිරස් කාණ්ඩ 2 හා 3 රට තුළ වැඩි වශයෙන් සංසරණය වන අතර, වසර කිහිපයකට පසු ඩෙංගු වයිරස් කාණ්ඩ 1 නැවතත් රට තුළ සංසරණය වන බවත් අදාළ පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ.

    අදාළ පර්යේෂණ ප්‍රතිඵල අනුව වයිරස් කාණ්ඩවල වෙනසක් වන අවස්ථාවන්හිදි ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක් අපේක්ෂා කරන අතර, මේ සම්බන්ධයෙන් මහජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.

    කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් පවතියි.

    මේ වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 16,497ක් වාර්තා වූ අතර ජූනි මාසයේදී රෝගීන් 2,997ක්ද, ජූලි මාසයේ මේ දක්වා රෝගීන් 3,029ක්ද වාර්තා වී ඇත.

    රට පුරා වාර්තා වන රෝගීන්ගෙන් සියයට 70ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන්නේ යැයිද, නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ ඉදිරි කාලයේදී මදුරු ගහනයේ වැඩි වීමක් විය හැකි යැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

    රට තුළ කොවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක නැවත ඩෙංගු රෝගයේ වර්ධනයක් ඇති වුවහොත් එය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වයට මෙන්ම මහජන සෞඛ්‍යයේ නිසි පැවැත්මට දැඩි බලපෑමක් ඇති කිරීමට ඉඩකඩ පවතින්නේ යැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.

    මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස තමා ජීවත් වන අවට පරිසරය පිරිසුදුව පවත්වා ගැනීමෙන් ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම අවම කර ගත හැකිය.

    තද උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, මස්පිඩු හා හන්දිපත් වේදනාව, ඔක්කාරය හා වමනය වැනි රෝග ලක්ෂණ කිසියම් පුද්ගලයකුට ඇත්තේ නම් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතුය. කොවිඩ් රෝග ලක්ෂණයන්ට සමාන රෝග ලක්ෂණ ඩෙංගු රෝගයේදීත් පවතින නිසා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමට ජනතාව කටයුතු කළ යුතුය.

    Latest News