අනර්ථකාරි වෙබ් අඩවි තහනම් කරන්නැයි නියෝග

ජූලි 30, 2021

    ශ්‍රී ලංකාව තුළ පවතින අනර්ථකාරි සියලු වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත ඊයේ (29) නියෝග නිකුත් කළාය.

    වැරැදි සහගත ලෙස වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම්, වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම්, ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වල තොරතුරු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත මෙහිදී නියෝග නිකුත් කළාය.

    පහළොස් හැවිරිදි දැරියක අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවල යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙර දින අධිකරණ නියෝග පරිදි අධිකරණය හමුවේ පෙනී සිටි විදුලි සංදේශ නියාමන කොමිසම වෙත මෙලෙස නියෝග නිකුත් විය.විවිධ වෙබ් අඩවි මඟින් විවිධාකාරයේ මිනිස් වෙළෙඳාම හා ලිංගික අපයෝජන වන බවට කරුණු වාර්තා කරමින් මේ කටයුතු පාලනය කිරීම සහ මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා අධිකරණයට මැදිහත් වන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ළමා හා කාන්තා කාර්යාංශය එක්ව අධිකරණය හමුවේ කරනු ලැබූ ඉල්ලීම සලකා බලන බවට මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

    ඒ අනුව සියලු කරුණු සලකා බලමින් දැනට පවත්නා තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් වී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරන බවට මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කරමින් ප්‍රකාශ කළාය.

    Latest News