ඉෂාලිනී දැරියගේ සිරුර හෙට (30) ගොඩ ගැනේ

ජූලි 29, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදවා සිටියදී මියගිය 16 හැවිරිදි ඉෂාලිනී ජූඩ් දැරියගේ සිරුර දෙවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා හෙට (30) යළි ගොඩ ගැනීමට නියමිතයි.

    දැරියගේ සිරුර විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ නිරෝධායන සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා පේරාදෙණිය ශික්‍ෂණ රෝහල වෙත දැඩි පොලිස් ආරක්‍ෂාවක් යටතේ රැගෙන යන ලෙස නුවරඑළිය දිසා අධිකරණයේ දිසා විනිසුරු ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද නියෝග කළාය.

    සිරුර, ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සිදු කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධව රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා බී වාර්තාවක් මගින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කරුණු වාර්තා කළේය.

    එහිදී ප්‍රකාශ කෙරුණේ, මියගිය දැරියගේ සිරුර නුවරඑළිය අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි හැටන් ඩයගම බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති අතර, සිරුර යළි ගොඩගැනීමේදී නුවරඑළිය මහේස්ත්‍රාත් අධීක්‍ෂණය යටතේ සිදු කළ යුතු බවයි.

    රජයේ අධිනීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරු ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය, අදාළ වසම බාර ග්‍රාම නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ද සහභාගි කරමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ හෙට උදේ 8.30ට සිරුර ගොඩ ගැනීමට නියෝග කළාය.

    දැරිය මිහිදන් කර ඇති ඩයගම වත්තේ බටහිර කොටස් පොදු සුසාන භූමියට දැඩි පොලිස් ආරක්‍ෂාව යොදවා තිබේ.

    Latest News