වී අලෙවි මණ්ඩලය මගින් වී අස්වනු මිලදී ගැනීම මේ දිනවල සාර්ථකයි.....

ජූලි 29, 2021

    රජයේ සහතික මිල යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ යල කන්නයේ වී අස්වනු වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගැනීම මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මකයි.

    මේ දක්වා මිලදී ගෙන ඇතිවී ප්‍රමාණය කිලෝ දෙලක්‍ෂ 40,000ක්. අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම අද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ නිරීක්‍ෂණයට ලක්වූහ.

    නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 50ක්, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 52ක් හා කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 55ක සහතික මිලක් රජය පසුගියදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය.

    අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළන ප්‍රදේශවල වී මිලදී ගැනීම් සඳහා ගබඩා 17ක් වී අලෙවි මණ්ඩලය මගින් විවෘත කර තිබේ.

    දිස්ත්‍රික්කයට අද පැමිණි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන් වී මිලදී ගැනීමේදී ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සිය අවධානය යොමු කළේය. අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ, ගෙවීන්ගේ නිවසටම ගොස් වීමිලදී ගන්නා ලෙසයි.

    රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩී. වීරසිංහ, තිලක් රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News