ජාතික රෝහලේ නව මෞත්‍ර ලිංගික ශල්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතනය අගමැතිතුමා විවෘත කරයි.

ජූලි 29, 2021

    ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදි කරන ලද නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතන ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (29) දින පෙරවරුවේ දී විවෘත විය.

    නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ සමස්ත ජනතාවට සමීප කිරීමේ උදාර අරමුණ පෙරදැරිව ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගම සිය පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

    දැඩි සත්කාර ඒකක ඇඳන් 13 කින් ද සමන්විත මෙම විද්‍යායතනය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කට ආසන්න වේ. සමරු ඵලකය නිරාවරණය කරමින් නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතන ගොඩනැගිල්ල විවෘත කළ අගමැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූයේය. මෙම පරිත්‍යාගය කළ ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම් මහතා සමඟ අගමැතිතුමා සුහඳ කතාබහක ද නිරත විය.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යඅක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ, ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම් මහතා ඇතුළු එම සමාගමේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News