'ඩෙල්ටා' ප්‍රභේදයෙන් කොළඹ මහ නගර සභා සිමාවට බලපෑම්

ජූලි 17, 2021

    කොළඹ මහ නගර සභා සීමාව තුල ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ බලපෑම් එල්ල වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

    කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ඊයේ (16) සඳහන් කළේ, ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත 11 දෙනෙකු කොළඹ නගර සීමාවෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

    ඒ අනූව කොළඹ 01 සිට 14 දක්වා ප්‍රදේශවලට එහි බලපෑම එල්ල වී ඇති අතර ඉන් වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ 01, 02, 03, 05, 09 හා 14 යන ප්‍රදේශවලටයි. ඒ අතරින් දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය හා බොරැල්ල යන ප්‍රදේශ ප්‍රධාන වෙයි. 

    ඛෙත්තාරාම ප්‍රදේශයේ ඉදිකිරිම් වැඩබිමකින් ද ඩෙල්ටා ආසාදිතයින් 05 දෙනෙකු ඊයේ වාර්තා වී තිබේ. දෙමටගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙක් සහ කොළඹ ප්‍රදේශයෙන් තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු ද හමුව ඇත.

    ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් මේ වනවිට නිරෝධායනයට ලක් කර එම වෛරසය පැතිරයෑම වැළැක්වීම සඳහා අවශ්‍යකරන සියලුම කටයුතු සිදුකරලා තිබෙන බවත් වෛද්‍ය රුවන් විජේමුණි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    Last modified on සෙනසුරාදා, 17 ජූලි 2021 10:37

    Latest News