රූපවාහිනී “නැණ මිහිර“ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටලය නිකුත් කෙරේ

ජූලි 07, 2021

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යාපන වැඩසටහන් අංශය ඉදිරිපත් කරන “නැණ මිහිර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටලය“ අද (07) නිකුත් කෙරිණ.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රබල අත්වැලක් ලෙසින් දිවයිනේ ගුරු-සිසු දෙපාර්ශවයේම අගැයීමට පාත්‍ර වූ “නැණ මිහිර“ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විශේෂ ව්‍යාපෘතියක්. 2021 වසර සඳහා නැණ මිහිර ප්‍රශ්න පත්‍ර කට්ටල ජනගත කෙරුණේ රූපවාහිනී සංස්ථා සභාපති රෙජිනෝල්ඩ් කුරේ, අධ්‍යක්‍ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    “නැණ මිහිර“ ප්‍රශ්න පත්‍ර සැකසෙන්නේ, ප්‍රවීන ඇඳුරු මඩුල්ලක සහභාගිත්වයෙන්. සමස්ත විෂය නිර්දේශ අළලා සකස් කෙරෙන “නැණ මිහිර“ ප්‍රශ්න පත්‍ර පරිශීලයෙන් විභාග ජය තහවුරු කරගත් සිසුන් විශාල පිරිසක් සිටීම නිසාම ඊට ඉහළ ඉල්ලුමක් පවතී.

    “නැණ මිහිර“ සම්මානනීය රූපවාහිනී වැඩසටහනට සමගාමීව මේ ප්‍රශ්න පත්‍ර කට්ටලය මෙවර සැකසුණේ 8 වැනි වරටයි. දිවයින පුරා පිහිටි එම්.ඩී. ගුණසේන, සරසවි හා සමුද්‍ර පොත්හල් ශාඛාවලින් සහ ගම්පහ මින්සර පොත් මැදුර, සදීපා පොත්හළ, බණ්ඩාරවෙල සැන්රොන්, සිසුමිණ යන පොත්හල්වලින් අද සිට “නැණ මිහිර“ප්‍රශ්න පත්‍ර කට්ටල මිලදී ගත හැකියි.

    රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් අංශයේ අධ්‍යක්‍ෂ එරින් විජේකෝන් මහත්මිය “නැණ මිහිර“ ප්‍රශ්න සම්පාදක ආචාර්යවරුන්, පොත්හල් අලෙවි කළමනාකාරවරුන් ඇතුළු පිරිසක් “නැණ මිහිර“ නිකුත් කිරීමේ අවස්ථාවට එක්වූහ.

    Latest News