අපේ රටේ උරුමය විනාශ කරන්න කිසිවෙකුටත් ඉඩ තබන්නෙ නැහැ; අගමැති

ජූලි 07, 2021

    අපේ රටේ උරුමය විනාශ කරන්න කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අවධාරණය කළේය.

    131වැනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙලට එක්වෙමින් අගමැතිතුමා අරලියගහ මන්දිරයේ දී මේ බව සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික උත්සවයේ දී සෝමාවතිය සහ රිදී විහාරය පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස නම් කිරීම විශේෂත්වයකි.

    ජනාධිපතිතුමා විසින් සෝමාවතිය රජ මහ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ට හා රිදී විහාරයේ විහාරාධිපති තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමියන්ට ඊට අදාළ සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලදි.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය www.archaeology.gov.lk අන්තර්ජාලයට එක් කිරීම ද මෙහි දී සිදුවිය. රාජ්‍ය අමාත්ය විදුර වික්‍රමනායක, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහත්වරු මෙහි දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව ප්‍රකාශන ග්‍රන්ථ 14ක් ජනාධිපතිතුමාට සහ ගරු අගමැතිතුමාට පිළිගැන්වූහ. පරම්පරා හතරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කළ සේවය වෙනුවෙන් අගමැතිතුමාගේ සුරතින් සීගිරිය තල්කොටේ අලුත්ගෙදර පරපුර වෙත සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අභිනව පුරාවිද්‍යා සොයා ගැනීම් ඇගයීමට ලක්කරමින් මැටි පුවරු ද්විත්වයක් බුදුගල පුරාවිද්‍යා ස්ථානයෙන් සොයාගත් නිමල් කරුණාතිලක මහතාට සහ මෙතෙක් නොදැන සිටි ආදි කාලීන ලෙන් චිත්‍ර සමූහයක් සෙයාගත් ඕ.ආර් ජයතිලක මහතා සහ තනුජා දර්ශනී අමරතුංග මහත්මියට සම්මාන සහ සහතික ප්‍රදානය කරන ලදි. ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට මෙහි දී සිහිවටන තිලිණ ප්‍රදානය කෙරුණු අතර දර්ශනී ජයවර්ධන මහත්මිය විසින් සිතුවම් දෙකක් ද ප්‍රදානය කළාය.

    සෝමාවතිය රජ මහ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ රිදී විහාරයේ විහාරාධිපති තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළ වදාළහ.

    Latest News