හරක් කටා ගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ 7ක් අත්අඩංගුවට

ජූනි 17, 2021

    නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැති ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරු ගේ මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන ප්‍රධානතම පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සමග රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ රුපියල් හත් ලක්ෂ විසිදහසක මුදලක් තිබී ඇති අතර ඊයේ (16) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සඳහන් කරයි.

    අත්අඩංගුවට පත් වූවන් අතර මාතර සහ වැලිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙනෙකු, හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු සහ නිට්ටඹුව ප්‍රදේශයේ කාන්තාවක් ද වන බැව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    මාතර ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු සතුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 190 ක් සහ 160 ක් ද, වැලිගම ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනා සතුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 140 ක්, 100 ක් සහ 60 ක් තිබූ බවත් අත්අඩංගුවට පත්ව ඇති නිට්ටඹුව ප්‍රදේශයේ කාන්තාව ජාවාරමට සම්බන්ධ මුදල් පරිහරණය කරන තැනැත්තිය බවත්, හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පත්වූ පුද්ගලයා සතුව රුපියල් හත් ලක්ෂ විසිදහසක මුදලක් ක්‍රෙඩිට් කාඩ් විශාල ප්‍රමාණයක් තිබූ බව වාර්තාවේ.

    මාතර පොලිසියට සැකකරුවන් දෙදෙනකු , වැලිගම පොලිසියට සැකකරුවන් තිදෙනෙකු භාරදී ඇති අතර , හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සහ නිට්ටඹුව ප්‍රදේශයේ කාන්තාව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ.

    මෙම ගිණුම් හරහා සතියකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් ගනුදෙනු වී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    Latest News