2019 සිට අමෙරිකාවේ කොරෝනා තිබූ බවට අනාවරණයක්

ජූනි 16, 2021

    කොරෝනා වෛරසය 2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට අමෙරිකාවේ පැවති බවට නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

    ඒ අනූව, එරට කොරෝනා ආසාදිතයෙක් මුලින්ම තහවුරු වූ 2020 ජනවාරි 21 වැනි දිනට පෙර සිටම වෛරසය රට තුළ සම්ප්‍රේෂණය වෙමින් පැවති බවයි, පර්යේෂකයන් පවසන්නේ.

    එරට ජාතික සෞඛ්‍ය ආයතනය ඉකුත් වසරේ ජනවාරි 2 වැනිදා සිට මාර්තු 18 වැනිදා දක්වා ලබා ගත් පුද්ගලයන් රැසකගේ රුධිර සාම්පල 24,000ක් පමණ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි, මේ බව ප්‍රකාශ කළේ.

    මේ වන විට අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හය ලක්ෂ 15,000 ඉක්මවා තිබේ. එරට සමස්ත කොරෝනා ආසාදිතයන් තුන්කෝටි හතළිස් තුන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර ඉකුත් පැය 24 තුළ හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව 12,580ක්. ඒ අනූව ලොව රටකින් වාර්තා වන වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව මෙයයි.

    මේ වන විට එරට එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක වුවද කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ වැඩි අවධානයකින් පසුවිය යුතු බව අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසයි. එරට සමස්ත වැඩිහිටි ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී තිබේ.

    Last modified on බදාදා, 16 ජූනි 2021 12:53

    Latest News