නෞකා අනතුරින් බලපෑමට ලක්වූ මුහුදු තීරය, නිසි අධ්‍යයනයකින් පසු ධීවර කටයුතු සඳහා වීවෘත කරන්න; අගමැති

ජූනි 12, 2021

    අනතුරටපත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මේ දක්වා ධීවර කටයුතුවල යෙදීමට නොහැකිව සිටින මීගමුව සිට පානදුර දක්වා මුහුදු තීරයේ ධීවරයන්ට එම මුහුදු කලාපය නිසි අධ්‍යයනයකින් අනතුරුව කඩිනමින් වීවෘත කර දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    එක්ස්ප්ර්ස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිතුමා මේ බව සඳහන් කළේය. පරිසර, ධීවර, ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් නෞකාව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය පිළිබඳව පූර්ණ වශයෙන් තක්සේරු කිරීමත් අදාළ නෞකා සමාගමෙන් හානි පූර්ණ වන්දි ලබා ගැනීම සහ නෞකාව එම ස්ථානයෙන් ඉවත්කරවා ගැනීමටත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස අගමැතිතුමා මෙහි දී උපදෙස් දුන්නේය.

    අදාළ නීතිමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු බව ද අගමැතිතුමා දැනුම් දුන්නේය. කොවිඩ් වසංගත තත්ත්වය සමඟාමීව අඩු ආදායම්ලාභීන් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාව නෞකාව හේතුවෙන් අගතියටපත් ධීවර ප්‍රජාව සඳහා ද ලබන සදුදා සිට ලබා දෙන බව අගමැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, මහින්ද අමරවීර, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි, රාජ්‍ය අමාත්‍යවරුන් වන, කංචන විජේසේකර, නාලක ගොඩහේවා මහත්වරු සහ , අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, නීතිපති සංජේ රාජරත්නම්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී ජයලාල්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක, ජාතික සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News