ජනතාවට කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුයි; අගමැති

ජූනි 11, 2021

    ජනතාව සඳහා කාර්යක්‍ෂම හා ඵලදායී සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    එම කාර්යයේ දී ආයතන ප්‍රධානීන් වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අගමැතිතුමා පෙන්වා දුන්නේය. සේවා නියුතිකයින්ගේ භාර අරමුදලේ (ETF) වර්තමාන තත්ත්වය පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිතුමා මේ බව අවධාරණය කළේය.

    සේවා සපයන ආයතන වෙතට පැමිණෙන සේවාදායකයින්ගේ සේවා අවශ්‍යතාව අනුව මැදිහත්වී කඩිනමින් අදාළ මගපෙන්වීම් සිදු කිරීමටත්, කාර්යක්‍ෂමව අදාළ සේවාව ලබාදීමටත් කටයුතු කළ යුතු යැයි අගමැතිතුමා පැවසීය. ඒ සඳහා ආයතන ප්‍රධානීන්ගේ මගපෙන්වීම නිලධාරීන්ට ලැබිය යුතු බව සඳහන් කළ අගමැතිතුමා, ජනතා සේවය වගකීමක් මෙන්ම යුතුකමක් බව සිහිපත් කළේය. ආයතන ප්‍රධානීන් සහ වෘත්තිය සමිති නියෝජිතයන් සහයෝගීතාවයෙන් යුතුව තම ආයතනවල පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට ක්‍රියා කළ යුතු බවත් අගමැතිතුමා පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, වෘත්තිය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සුමිත් විජේසිංහ, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, සේවා නියුතිකයින්ගේ භාර අරමුදලේ සභාපති ශ්‍රීයානන්ද සිල්වා, ලංකා ලුණු සමාගමේ සභාපති නිශාන්ත සදඹරණ, වාණිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති ජේ.පී මහින්ද, නිදහස් සේවක සංගමයේ සභාපති ඩබ්. ඒ.කේ. සුරාජ් දිලන්ත මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    Latest News