පරිසර හිතකාමී ආරක්ෂීත හිස් ආවරණයක්

ජූනි 11, 2021

    දේශීය පුද්ගලික සමාගමක් වන Coir Creations පුද්ගලික ආයතනය විසින් පරිසර හිතකාමී නව ආරක්ෂිත හිස් ආවරණයක් නිර්මාණය කර තිබේ.

    සියයට 100ක්ම පොල් කොහු භාවිතා කරමින් නිපදවා ඇති මෙම හිස් ආවරණය Eco-Coir Safety Helmet දැනට අප රටේ භාවිතා කරන ආනයනික හිස් ආවරණවලට වඩා පරිසර හිතකාමි එමෙන්ම ආරක්ෂීත හිස් ආවරණයක් ද වේ.
    මෙම නව නිෂ්පාදනය ඇතුළු පොල් කොහු භාවිතා කරමින් එම සමාගම විසින් සිදු කරන ලද නව නිෂ්පාදන කිහිපයක් ඊයේ (09) පරිසර අමාත්‍යාංශයේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පිරිනමනු ලැබීය. එම අවස්ථාවට එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සි. ජේ. ගමගේ, කණ්ඩායම් ප්‍රධානී එන්. කාව්‍යා යනාදී මහත්ම මහත්මීහු කිහිප දෙනෙක් සහභාගි වූහ.

    ප්ලාස්ටික් හා වෙනත් කෘත්‍රිම අමුද්‍රව්‍ය භාවිතා කරමින් මේ වනවිට නිපදවා ඇති ආරක්ෂීත හිස් ආවරණවලට වඩා මෙම කොහු කෙඳිවලින් නිපදවා ඇති ආරක්ෂීත හිස් ආවරණය සෞඛ්‍ය සම්පන්නභාවයෙන්ද යුක්ත වේ. විශේෂයෙන් හිරු එළිය උරා ගැනීම, පහසුවෙන් සෝදා පිරිසිදු කර ගැනීමට හැකිවීම , අඩු බරකින් යුක්තවීම, වියළි කාලගුණික තත්ත්වයක දී වුවද හිසට කිසිදු අපහසුවක් නොදැනීම, පාරජම්බුල කිරණවලින් හානියක් නොවීම, අනෙකුත් හෙල්මට් භාවිතයේදී මෙන් දුර්ගන්ධයෙන් තොරවීම, ස්වාභාවික හා පරිසර හිතකාමී මෙන්ම පරිසරයට මුදා හැරීමෙන් පසු ඉක්මනින්ම දිරාපත් වීම ද මෙම කොහු කෙඳිවලින් නිෂ්පාදිත ආරක්ෂිත හිස් ආවරණයෙන් ලැබෙන ප්‍රතිලාභ බව එහි නිලධාරිහු පැවසූහ.

    වත්මන් රජයේ ප්‍රතිපත්තිය හැකි තරම් අපිට අවශ්‍ය දේ අපේ රට තුළ නිපදවීම බව කී අමාත්‍යවරයා අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කළ සෞභාග්‍ය යේ දැක්ම ට අනුව අපේ රටේ නිපදවා ගැනීමට හැකියාව තිබිය දී වෙනත් රටවලින් ආනයනය කිරීමට කටයුතු කිරීම නිසා වාර්ෂිකව අපේ රටෙන් වෙනත් රටවලට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය අපේ රට තුළම ඉතිරි කර ගැනීමට මෙවැනි නව නිපැයුම් හඳුන්වා දිය යුතු බව ද කීය.

    එමෙන්ම මෙම සමාගම විසින් වහළවල් සඳහා යොදා ගත හැකි Corrugated Coir Fiber Roofing Sheet ද කොහු කෙඳි ආශ්‍රිතව නිපදවා තිබේ. විශේෂයෙන් ඇස්බැස්ටස් තහඩු වහළ සඳහා යෙදීම පාලනය සඳහා මෙම වසරේ සිට නව නීති පැනවීමට යෝජිත බැවින් ඊට විකල්පයක් වශයෙන් කොහු කෙඳි භාවිතයෙන් නිපදවා ඇති මෙම ශක්තිමත් වහළ ආවරණ තහඩු ද ඉතාමත් පරිසර හිතකාමී නිෂ්පාදනයක් වේ.

    එමෙන්ම ජලය ආශ්‍රිතව සිදුවන තෙල් විසිරීම්වල දී ජලය දූෂණය වීම වළක්වා ගැනීමට යොදා ගත හැකි තෙල් උරා ගන්නා නිෂ්පාදන කිහිපයක් ද Coir Sorbents හඳුන්වා දෙනු ලැබීය. මුහුදේ ගිළී ගිය එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් සිදුවිය හැකි පරිසරය හැනිය වළක්වා ගැනීමට උචිත කොහුවලින් නිපදවන ලද කඹයක් ( Anaconda) මෙන්ම ඉන්ධන උරා ගන්නා උපකරණයක් ද මෙහිදී අමාත්‍යවරයාට හඳුන්වා දුන්නේය.

    කෙසේ වුවද මෙම වසරේ සිට අපේ රටේ අලුතින් ඉදි කෙරෙන පාසැල් ගොඩනැගිලි හා පෙර පාසැල් ගොඩනැගිලිවල වහළ සඳහා යොදා ගන්නා ඇස්බැස්ටස් තහනම් කිරීමට පියවර ගන්නා බව කී අමාත්‍යවරයා මෙම සමාගමේ නව නිෂ්පාදනය මුළුමනින්ම පරිසර හිතකාමී මෙන්ම දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවා ඇති බැවින් ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ද සඳහන් කළේය.

    දේශීය කර්මාන්තකරුවෝ දිරිමත් කිරීමට පියවර ගැනීම හා ඔවුන්ගේ නිෂ්පාදනයන් මිල දී ගැනීමට මහජනතාව උනන්දු කරවීම ද රජයේ වගකීමක් වන බැවින් ඒ සඳහා රජය සෑම විටම මැදිහත්ව කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News