විශ්‍රාම වැටුප් ගෙවීම අද හා හෙට...හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්

ජූනි 10, 2021

    විශ්‍රාම වැටුප් ලබාදීම සම්බන්ධයෙන් අද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. විශ්‍රාමකයින්ට විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා තම නිවසේ සිට බැංකු හෝ තැපැල් කාර්යාලය වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධාන කර තිබේ.

    කොවිඩ්-19 රෝගයට ගොදුරු විය හැකි පිරිස් අතරින් වැඩිම අවදානමක් සහිත කාණ්ඩය ලෙස වයස අවුරුදු 60ට වැඩි පිරිස හඳුනාගෙන ඇති බැවින් ඔවුන් වෛරසයෙන් ආරක්ෂා කරගැනීම මෙහි ප්‍රමුඛ පරමාර්ථයයි.

    අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයේන අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ දී ඊයේ විශේෂ සාකච්ජාවක් පැවැත්විණ. ඒ අනුව විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා රජය මගින් නොමිලයේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට තීරණය කෙරිණ.

    එම ප්‍රවාහන පහසුකම් ලබා නොගන්නා විශ්‍රාමකයින්ට තම විශ්‍රාමික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත හෝ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දුරකථනයට එවා ඇති කෙටි පණිවුඩය පෙන්වා තැපැල් කාර්යාල හෝ අදාළ බැංකු ශාඛා වෙත යාමට අවස්ථාව ලබාදීමට පියවර ගැනිණ. විශ්‍රාම වැටුප් ගෙවනු ලබන ප්‍රධාන බැංකු වන්නේ ලංකා බැංකුව,ඉතිරිකිරීමේ බැංකුව හා මහජන බැංකුවයි. අනෙකුත් රජයේ හා පෞද්ගලික බැංකු මෙන්ම තැපැල් කාර්යාල මගින්ද ගෙවීම් සිදු කෙරේ.

    ඒ අනූව සියලුම රජයේ හා පෞද්ගලික බැංකු සහ තැපැල් කාර්යාල අද සහ හෙට විවෘත කර තැබෙන අතර තැපැල් කාර්යාල ලබන 12 සෙනසුරාදා දින ද විවෘත කර තැබීමට නියමිතයි.
    රජයේ විශ්‍රාම වැටුප් ලාභීන් සංඛ්‍යාව හය ලක්ෂ 67,710ක් පමණ වන අතර රජය අදාළ වැටුප් ගෙවීම් සඳහා මාසිකව රුපියල් බිලියන 20ක් පමණ වැය කරයි. වැඩිම විශ්‍රාමික පිරිසක් සිටින දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇත්තේ කොළඹ,ගම්පහ,කුරුණෑගල හා මහනුවරයි.

    විශ්‍රාම වැටුප් ලබන කාණ්ඩයට අයත් වැඩි පිරිසක් අවුරුදු 60ත් 70ත් වයටසේ වන අතර එම සංඛ්‍යාව දෙලක්ෂ 50,870ක්.

    අවුරුදු 90 වැඩි විශ්‍රාම වැටුප් ලාභීන් සංඛ්‍යාවට 9,495 දෙනෙක් ඇතුලත්. ඉන් අවුරුදු 100ට වැඩි විශ්‍රාම වැටුප් ලාභීන් සංඛ්‍යාව 214 දෙනෙක්. 

    Latest News