සයිබර් ප්‍රහාරයක් ගැන අසත්‍ය පුවතක් පළ කළ තැනැත්තාට ඇප

ජූනි 09, 2021

    ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතන වල වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් යනුවෙන් අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති බව කියන යසිරු කුරුවිටගේ නමැත්තා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික.සී. රාගල මහතා නියෝග කළා.

    ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සඳහන් කළේ පුද්ගලයෙකුට භාෂණයේ නිදහස තිබුණද ඊට ද සීමා පවතින බවයි.

    භාෂණයේ නිදහස උපයෝගී කර ගනිමින් අසත්‍ය සහ මහජනයා නොමග යවන සුළු ප්‍රකාශ පළ කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ හා රාජ්‍ය ආයතන වල කටයුතු අකර්මන්‍ය කරන ආකාරයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නා.

    එබැවින් මින්මතුවට මේ ආකාරයෙන් කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුට අවවාද කළේ.

    මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළා.

    එම ඇප ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කර සිටියා.

    සැකකරු අන්තර්ජාලය හරහා පළ කර ඇති පුවත මගින් මෙරට ආර්ථිකය අකර්මණ්‍ය කොට රජය අපහසුතාවයට පත් කිරීමේ උත්සාහයක් තිබුණේදැයි සැක මතු වී තිබෙන හෙයින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

    මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකරු නඩුවට පාදක වන රජයේ ආයතනවල වෙබ් අඩවි තුළට අනවසර ආකාරයෙන් ඇතුළු වී තිබීම හෝ ඒවායේ මුර පද අවභාවිතා කිරීම සිදු කර තිබේ දැයි ප්‍රශ්න කර සිටියා.

    ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ විමර්ශනවලදී එවැනි කරුණක් අනාවරණය වී නොමැති බවයි.

    එසේ නම් පරිගණක අපරාධ පනතේ 6, 10 සහ 12 වගන්තිය යටතේ සැකකරුට එරෙහිව විමර්ශන සිදුකරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවලට අදාල නොවන වගන්ති ඇතුළත් කිරීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නඩුව නිසි ලෙස පවත්වාගෙන යාමට පවා අසීරු වනු ඇති බවයි කියා සිටියේ.

    ඒ අනුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඉදිරිපත් වී ඇති කරුණු පිරික්සීමේදී පරිගණක අපරාධ පනත යටතේ මෙම සැකකරු වරදක් සිදුකර ඇති බවට බැලූ බැල්මටම කරුණු අනාවරණය නොවන බවයි.

    එමෙන්ම කිසියම් වරදක් අනාවරණය කර ගන්නා තුරු සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැරීමට නියම කළා.

    නඩුව නැවත ජුලි මස 01 වනදා කැඳවීමට ද නියම වුණා.

    Latest News