සංචරණ තහනම තුල - ඖෂධ සැල් විවෘත කිරීමට අවසර

මැයි 14, 2021

    ඊයේ රාත්‍රී 11.00 සිට ලබන 17 වැනි සඳුදා අලුයම 4.00 දක්වා දිවයිනටම බලපාන පරිදි සංචරණ තහනම ක්‍රියාත්මකයි. එම කාලසීමාව තුළ අත්‍යවශ්‍ය සේවා සිදු කරන පුද්ගලයින් හැර අනෙක් පිරිස් නිවෙස් තුළ රැඳී සිටීම අනිවාර්ය බවයි,පොලීසිය පවසන්නේ.

    සංචරණ තහනම ක්‍රියාත්මක වන කාලසීමාව තුළ සියලු වෙළෙඳසැල් වසා තැබිය යුතුයි. එහෙත් ඖෂධ සැල් විවෘත කිරීම සඳහා අවසර ලබා දී තිබේ. ඖෂධ ලබා ගැනීම සඳහා ළඟම ඇති ඖෂධ සැලට යා හැකියි. සතොස,සුපිරි වෙළෙඳ සැල් සහ අවන්හල් මගින් වියළි ආහාර සහ පිසූ ආහාර ඇණවුම් මත බෙදා හැරීම සිදුකළ හැකියි. එම ආයතනවල හිමිකරුවන් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් ඒ සඳහා අවසර ලබා ගත යුතුයි. එමෙන්ම,පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ,මැනිං වෙළෙඳපොළ සහ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණක් විවෘත කෙරේ.

    එම ස්ථානවලින් මිල දී ගන්නා භාණ්ඩ තම ස්ථාන වෙත රැගෙන ගොස් ඇණවුම්මත බෙදා හැරිය හැකියි. මාර්ග සංවර්ධන කටයුතුද, බාධාවකින් තොරව සිදු කිරීමට අවසර ලබා දී තිබේ. එන්නත්කරණය සඳහා ද සහභාගී විය හැකියි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හෝ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිෂ්පාදන ආයතන හා කර්මාන්ත ශාලා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකියි.

    එම සේවකයින්ට කාර්යාල ප්‍රවාහන සේවයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසිය යුතුයි. පොදු ප්‍රවාහන සේවා,කුලී රථ සේවා, සංචරණ තහනම ක්‍රියාත්මක කාලසීමාව තුළ ක්‍රියාත්මක නොවේ.

    යම් පුද්ගලයෙකුට රෝහලකට යාමට හෝ ගුවන්තොටුපොළට යාමට අවශ්‍යනම් තම පෞද්ගලික රථය හෝ කුලී රථයක් භාවිත කළ හැකියි.

    අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකි අතර ඒ සඳහා තම කාර්යාල නිල හැඳුනුම්පත භාවිත කිරීමට අවසර ලබා දී තිබේ. මෙම දින 3 තුළ හැඳුනුම්පත් ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන අතර එය ක්‍රියාත්මක වන්නේ ලබන සඳුදා සිටයි.

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 15:12

    Latest News