කොවිඩ් නව ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවකයින් ගෙන්වීම සිමා කිරීමට යලි අවධානය

අප්‍රේ 26, 2021

    පවතින කොවිඩ් නව ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව හා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

    ඒ අනුව රාජ්‍ය ආයතනවලට රාජ්‍ය නිලධාරීන් අඛණ්ඩව කැඳවීම සඳහා වන චක්‍රලේඛය හෙට (27) සිට අත්හිටුවීමට අවශ්‍ය උපදෙස් විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්තුමන් වෙත ලබා දී තිබේ. ඒ බව විෂයභාර අමාත්‍යවරයා පැවසූ බව එම අමාත්‍යංශ නිකුත් කළ නිවේදනයක සඳහන්.

    ඒ වෙනුවට පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවාව පවත්වාගෙන යාම කෙරෙහි තම රජයේ අවධානය යොමුව ඇතැයි පවසනවා.

    කොවිඩ් පළමු හා දෙවන ව්‍යාප්තියන් හමුවේද රාජ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය සේවා අමාත්‍යංශය මෙවැනිම නම්‍යශීලි ක්‍රමවේදයන් අනුගමනය කරන ලදි. ඒ යටතේ නිවසේ සිට සේවාව ලබා දීම, සියයට 50 ක් සේවයට කැඳවීම මෙන්ම ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි නිලධාරීන් ගෙන්වීම යන ක්‍රමවේදයන් අනුගමනය කරන ලදි.

    මේ අවස්තාවේදීද රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් නම්‍යශී හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම අවස්ථාවෝචිත ක්‍රියාවක් සේ තම රජය දකින බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත.

    මේ අනුව අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව හෙට(27දා) නිකුත් කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

    Latest News