කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන් ....

අප්‍රේ 11, 2021

    කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය විවෘත කිරීම නිමිත්තෙන් අද (11) දහවල් විහාරස්ථානයේ පැවති දානමය පින්කමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී විය.

    විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව දානමය පින්කමට එක් වූ ජනාධිපතිතුමා මහා සංඝරත්නයට දානය පිළිගැන්වීය. අදට යෙදී ඇති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ජන්ම දිනයට හා හෙටට යෙදී ඇති උන්වහන්සේගේ මෑණියන්ගේ ජන්ම දිනයට ආශිර්වාද කිරීම පිංකමේ තවත් අරමුණකි.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි සහ අමරපුර චූලවංශික මහා නිකායේ අනුනායක, කිරුළපන ඇලන් මැතිණියාරාම විහාරාධිපති පූජ්‍ය යෝගියානේ සෝභිත හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් දානමය පුණ්‍ය කර්මය පැවැත්විණ.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූහ. අමාත්‍ය සරත් වීරසේකර, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News