ජනතාවට, ව්‍යාපාරිකයන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි; ආචාර්ය පී.බී. ජයසුන්දර

අප්‍රේ 08, 2021

    මෙරට බදු ක්‍රමය සරල සහ විධිමත් කොට පොදු ජනතාවට මෙන්ම ව්‍යාපාරිකයින්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක බව, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි.

    “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙය ක්‍රියාත්මකයි. මේ යටතේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ ක්‍රමෝපාය වැඩපිළිවෙළක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියේය.

    දේශීය ආදායම් පනත හා එකතු කළ අගය මත බදු සංශෝධනයට අදාළ බදු පනත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. ඒ ගැන හා 2020/2021 අයවැයෙන් හඳුන්වාදෙන ලද බදු යෝජනා සම්බන්ධව අදාළ පාර්ශව දැනුවත් කිරීම සම්මන්ත්‍රණයේ අරමුණයි. රජයට විශාල වශයෙන් බදු ගෙවන ව්‍යාපාරිකයන් 200කට අධික පිරිසක් කොළඹ අද පැවති සම්මන්ත්‍රණයට එක්වූහ. ඒ ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ.

    දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට වසර 89 පිරීම ද සම්මන්ත්‍රණය සංවිධාන කිරීමට තවත් හේතුවක්. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩබ්.සී. බණ්ඩාර යන මහත්වරු සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද මීට එක්වූහ.

    Latest News