රන්ජන්ගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම්....

අප්‍රේ 08, 2021

    රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ අදහස් පළකිරීම හේතුවෙන් අදත් පාර්ලිමේන්තුව උණුසුම් විය.

    ඒ හේතුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 5කට කල් තැබීමට පියවර ගත්තේය. රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් ගැන කතානායකවරයා සභාව ආරම්භයේදීම ප්‍රකාශයක් කළේය.

    සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කියා සිටියේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ රන්ජන් රාමනායක මහතා සිය නිවාඩු ඉල්ලීම ඉදිරිපත් කර නොමැති නිසා, ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වී ඇති බවයි.

    එම ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කළ කතානායකවරයා, අවධාරණය කළේ, අධිකරණ තීන්දුව ප්‍රකාරව ව්‍යවස්ථානුකූලව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බවත්, විපක්‍ෂ නායකවරයා ප්‍රකාශ කරන ආකාරයේ නිවාඩු ඉල්ලීමක් ඊට අදාළ නොවන බවත්ය.

    මේ සම්බන්ධයෙන් කතානායකවරයාත්, විපක්‍ෂ නායකවරයාත් අතර අදහස් හුවමාරු වන අතරතුර, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අදහස් පළ කිරීමත් සමඟ සභාව උණුසුම් විය. සභාව කල් තැබූ අවස්ථාවේ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ විරෝධතාවක නිරත විය.

    ඊට එරෙහිව ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ද සභා ගර්භයේ විරෝධතාවක නිරත විය. යළිත් සභාව ආරම්භ කෙරුණේ විනාඩි 20කට පසුවයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අප්‍රේල් 2021 19:18

    Latest News