කැරොලයින් හා චුලා අත්අඩංගුවට

අප්‍රේ 08, 2021

    2020 ලෝක විවාහක රූ රැජිණවන කැරොලයින් ජූරි මහත්මියව කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇය සමග හිටපු නිරූපිකාවක්වන චුලා පද්මේන්ද්‍ර මහත්මියවද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

    2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගය නෙළුම් පොකුණ රඟහලේ දී පසුගියදා පැවැත්වුණු අතර එහි ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටය. කෙසේ නමුත් එහිදී කැරොලයින්, පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත්කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැලඳවීමක් සිදු විය.

    ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරග අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පැවසුවේ අද(08) දින කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව කැරොලයින් ජූරිව සහ චුලා පද්මේන්ද්‍රව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    ජූරි, චූලා, පුෂ්පිකා සහ චන්දිමාල් අද කුරුඳුවත්ත පොලිසියට පැමිණ තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජූරි විසින් පුෂ්පිකාට ප්‍රසිද්ධියේ සමාව අයැදීම ප්‍රතික්ෂේප කර ඇති අතර අදාළ කාන්තාවන් දෙදෙනා ලිඛිතව සමාව ඉල්ලීම එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ප්‍රතික්ෂේප කර ඇතැයි සදහන්වේ. එහි ප්‍රතිඵලයක් ලෙස කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පසුව ඔවුන් පොලිස් ඇප මත නිදහස් කළ බව ද වාර්තාවේ.

    Latest News