අන්තවාදී දේශන පැවැත්වු දෙදෙනෙක් TID අත්අඩංගුවට

අප්‍රේ 08, 2021

    අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ සිසුන් පිරිසක් සඳහා පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම්ගේ අනුදැනුම මත මුලධර්මවාදී හා අන්තවාදී දේශන පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් ඔලුවිල් ප්‍රදේශයේ දී ඊයේ (07) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    අත්අඩංගුවට පත් සැකකරුවන් 30 හැවිරිදි හා 39 හැවිරිදි ඔලුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    විදේශීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම්වලට සාමාජිකයින් බඳවා ගැනීමට පවත්වන දේශනවල අඩංගු කරුණු සැකකරුවන් විසින් මෙරට සිටින ළමුන් වෙත ලබා දී ඇති බවට වාර්තා වී තිබේ.

    2018 වසරේ දෙසැම්බර් මාසයේ දී එම පන්ති ඔලුවිල් ප්‍රදේශයේ දී පවත්වා ඇති අතර, එම පන්තිවලට සහභාගී වු සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව විවිධ ශාරීරික අභ්‍යාස ලබාදුන් බවට ද හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබේ. රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.

    Latest News