ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජන සිදු කිරීමට පාකිස්ථානය සූදානම්

අප්‍රේ 08, 2021

    දිගුකාලීන මිත්‍රශීලී ඉතිහාසයකට හිමිකම් කියන, කළාපීය සහයෝගීතාවය සහ සාමය ආරක්ෂා කරමින් කටයුතු කරන ශ්‍රී ලංකා රජයේ සංවර්ධන කටයුතු සදහා ලබාදිය හැකි උපරිම සහයෝගීතාවය, පාකිස්තානු රජය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් කතක් මහතා ප්‍රකාශ කරයි.

    පසුගිය 06 වැනි දින පැවති පාකිස්තානු නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය පිළිබඳව පැවති සාකච්ඡාවක දී පාකිස්තානු මහ කොමසාරිස්වරයා මේ බව අනාවරණය කළේය.

    කොළඹ නගරයේ ඉදිකිරීම් ආරම්භ කර, පසුව අතරමග වැඩ නතර කර තිබෙන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව අතරමඟ නතර වී තිබෙන ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විශේෂ බලයලත් නිලධාරියා වශයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පත්කර තිබේ.

    මෙහිදී පසුගිය කාලයේ වැඩ ආරම්භකර අඩක් නිමකර තිබූ කොළඹ කොම්පඤ්ඤවීදීය දුම්රිය ස්ථානය අසල පිහිටි ඩෙස්ටනි (Destiny) මහල් නිවාස ඒකකයේ වැඩ නැවත ඇරඹීමට තීරණය කෙරිණ.

    වැඩ ආරම්භ කිරීමට තීරණය කෙරුණු ඩෙස්ටනි මහල් නිවාස ඒකකය, නිවාස 300 කින් සමන්විත වන අතර, එම නිවාස සඳහා එහි හිමිකරුවන් කලින් මුදල් ගෙවා තිබිණ. පසුගිය ආණ්ඩුව කාලයේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩා වැටීමත් සමඟ ම මෙම ව්‍යාපෘතිය ද අතරමග නතර වී තිබේ.

    නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ සැලසුම්කළ ව්‍යාපෘති යහපාලන රජය යටතේ ක්‍රියාත්මක නොවූ බවයි.

    මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ 2015 - 2016 න් පසු කාලය ඉතාමත් පීඩාකාරී, වෙහෙසකර අර්බුදකාරී කාලයක් වූ බවයි.

    ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් කතක් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය යනු දිගුකාලීන මිතුරන් වන බවයි.

    “පාකිස්ථානය හැම විට ම ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට සූදානමින් සිටිනවා. අද දින නැවත වැඩ අරඹන මෙම ඩෙස්ටනී නිවාස ව්‍යාපෘතිය සඳහා පාකිස්ථානය සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. දෙරට අතර ගණුදෙනු අතීතයේ පටන් සිදුවුණා. රටවල් දෙක අතර හැමවිට ම පැවතුණේ යහපත් සබඳතාවයන්. කළාපීය වශයෙන් ඉතාමත් හොඳ සහයෝගයක් අපි අතර තිබුණා. ශ්‍රී ලංකාව සමඟ මෙසේ එක්ව කටයුතු කරන්නට ලැබීම දෙරටට ම මහත් සතුටක්.”යනුවෙන් ද ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

    මෙම සාකච්ඡාව සඳහා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් කතක්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායකල MAGA ඉදිකිරීම් ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ කපිතාන් එම්.බී. කුලරත්න, එක්ස්පෝ ග්‍රාන්ට් ව්‍යාපෘතියේ කළමණාකාර අධ්‍යක්ෂක ජොනී ප්‍රනාන්දු පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් ඇතුළු තවත් පිරිසක් ද සහභාගිවී සිටියහ.

    Latest News