ජනපති දළදා සමිඳු වැඳ මහ නා හිමිවරුන් බැහැ දකී ....

අප්‍රේ 07, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (07) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

    දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි නිල ආරාමයේදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

    අස්ගිරි මහ විහාරයීය කාරක සංඝ සභික බදුලු මුතියංගන රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන නා හිමියෝ ද එම අවස්ථාවට එක්ව සිටියහ. අතීතයේ පැවති සශ්‍රීක ගම යළි ගොඩනැගීමට ගමින් ගමට චාරිකා කරමින් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ නා හිමිවරුන්ගේ පැසුසමට ලක් විය.

    ග්‍රාමීය ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් උදාකර නොදී ගම දියුණු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් රජය කැපවී ක්‍රියා කරනුයේ ගමේ ජනතාව නගා සිටුවීමට බව කියා සිටියේය.

    ආනයන සීමා කරමින් මෙරට වගා කළ හැකි සෑම බෝගයක්ම වගා කිරීමට අවස්ථාව සලසා දුන්නේ පිටරට ගොවියාට ගිය මුදල් අපේ ගොවියා අතට පත් කිරීමටයි. වගාකළ හැකි සෑම බිමක්ම කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ. ගොවි ජනතාවට නව තාක්ෂණය හඳුන්වාදෙමින් අස්වනු වැඩි කර ගැනීමට මෙන්ම නව පරපුර ක්ෂේත්‍රයට ආකර්ශණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කොවිඩ් අර්බුදයට සාර්ථකව මුහුණදීමට හැකි වූයේ රජය ගෙන ගිය නිවැරදි වැඩපිළිවෙළ නිසාය. අද සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් දකින්නට ඇති අතර අනාගතය දෙස අවධානය යොමු කළ සංවර්ධන වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මෙරට සෞභාග්‍යයේ සංකේතයක් බඳු තේ කර්මාන්තය බිඳ වැටීමට ඉඩ නොතබා ශක්තිමත්ව ඉදිරියට ගෙන යනු පිණිස තේ වගාකරුවන්ට සහන සලසමින් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇතැයි එතුමා පැවසීය.

    ගැටලු නිරාකරණය කර ගනිමින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලුදෙනා එකාවන්ව අත්වැල් බැඳගත යුතු යයි මහා සංඝරත්නය අවධාරණය කළහ. දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණ සිටි ජනතාවගේ ද තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය. අනතුරුව ජනාධිපතිතුමා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විචාළේය. අනු නායක හිමියන් වැඩවෙසෙන සංඝාවාසය ප්‍රතිසංස්කරණය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ දිනවල කරගෙන යන අතර එය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා වැඩ කඩිනමින් නිම කරන්නැයි උපදෙස් දුන්නේය.

    ගැටඹේ රාජෝපවනාරාමයට ගිය රාජපක්ෂ මැතිතුමාට විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.

    ස්වකීය 90 වන ජන්ම දිනය නිමිත්තෙන් සම්පාදනය කළ “යතිවර හදවත විනිවිද දුටිමි” කෘතිය නායක හිමියන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. උන්වහන්සේගේ ජාතික, ආගමික සහ සාමාජයීය මෙහෙවර අලලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය ආර්.ඒ.ඩබ්. රණසිංහ මහතා විසින් කෘතිය සම්පාදනය කර තිබේ.

    ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී හිමිපාණන් වහන්සේ ද බැහැ දුටු අතර කුමන බාධක ඇති වුවත් ඉදිරි මග සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි උන්වහන්සේ ආශිර්වාද කළහ.

    අනතුරුව අස්ගිරි ගෙඩිගේ රාජ මහා විහාරය වෙත ගොස් වන්දනා මාන කළ ජනාධිපතිතුමා විහාරාධිපති ශාස්ත‍්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය වේඬරුවේ උපාලි අනු නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

    රංගිරි දඹුලු විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමිපාණන් වහන්සේ ද එම අවස්ථාවට වැඩම කර සිටියහ.

    මල්වතු මහා විහාරයේ දී මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේ සමග ද පිළිසඳරක නිරත වෙමින් ආගමික, සාමජයීය කරුණු රැසක් ගැන සාකච්ඡා කළේය.

    Latest News