මී මුරේ; ගම සමඟ පිළිසඳරේ ප්‍රගතිය...

අප්‍රේ 06, 2021

    මී මුරේ සංවර්ධනයට අදාළ සියලු වැඩසටහන් එම ගම්මානයේ පෞරාණික බව, සුන්දරත්වය හා සංස්කෘතිය ආරක්‍ෂා වන පරිදි ක්‍රියාත්මක විය යුතු බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

    ගම සමඟ පිළිසඳර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය. මී මුරේ පැවති ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රකාශ කළේ එහි පරිසරයට මෙන්ම සංස්කෘතියට සහ ජන ජිවිතයට කිසිදු හානියක් නොවන අයුරින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි. එදින ඉදිරිපත් වූ යෝජනා සඳහා එදිනම අනුමැතිය හිමිවූ බව සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා කෙටි කාලීන ව්‍යාපෘති මැයි මස අවසන් කළ හැකි බව ද කියා සිටියේය.

    පරිසර සංවේදී ලෝක උරුමයක් වන මී මුරේ ගම්මානයට උත්සව සමයේ සංචාරකයන් විශාල වශයෙන් පැමිණේ. ඔවුන්ගෙන් සිදුවන පරිසර හානි අවම කරගැනීම සඳහා මෙහිදී කමිටුවක් ද පත්කර ගැණින. ගම්වාසීන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි යෝජනා වැඩි ප්‍රමාණයක් මේ වනවිට ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ප්‍රවාහන, බැංකු පහසුකම්, විදුලිය සහ මාර්ග ඇතුලු ඉදිකිරීම් රැසක් ද මේ වන විට අවසන් වී තිබේ.

    සියලුම ව්‍යාපෘති කඩිනමින් හා උසස් ප්‍රමිතියෙන් යුතුව සිදු කිරීමට නිලධාරීන්ගේ මෙන්ම ගම්වාසීන්ගේ සක්‍රීය දායකත්වය ලැබිය යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය. මීමුරේ සුදර්ශනාරාම විහාරාධිපති පූජ්‍ය වලල සුමනරතන හිමි සහ රජයේ නිලධාරින් හා ගම්වාසීන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News