ජනතා කේන්ද්‍රීය ආර්ථිකය තුළින් ජාතික ආර්ථිකය සවිබල ගැන්වීම නව රජයේ දැක්මයි...ක්‍රීඩා ඇමති

අප්‍රේ 06, 2021

    නව රජයේ දැක්ම ග්‍රාමීය ජනතාව සවිබල ගන්වා ජනතා කේන්ද්‍රීය ආර්ථිකය තුළින් ජාතික ආර්ථිකය සවිබල ගැන්වීම බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය (31)දා පැවසීය.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සමාජයීය යටිතල පහසුකම් කමිටුවට එක්වෙමින් එම කමිටුවේ සභාපති තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

    සුළු කර්මාන්තවල නියැලෙන ග්‍රාමීය ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු රාශියක් මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, සමූපකාර, විදේශ රැකියා, ජාතික උරුමයන් හා ග්‍රාමීය කලා කටයුතු, දහම් පාසල්, පිරිවෙන්, භික්ෂු අධ්‍යාපනය, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම්, දේශීය වෙදකම, කාන්තා හා ළමා සංවර්ධන, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පළාත් සභා පළාත් පාලන යන ක්ෂේත්‍රවලට අදාළව ජනතාවගේ ගැටලුවලට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ඇහුම්කන් දුන්නේය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    නව ක්‍රමවේදයන් යටතේ අධ්‍යාපනයට සමඟාමීව දරුවන්ගේ වෘත්තීය දැනුම ද වැඩි දියුණු කර අනාගතයේ ඔවුන්ගේ ආර්ථික මට්ටම මෙන්ම සමාජ තත්ත්වය වඩා යහපත්ව ගොඩනැගීමට කඩිනමින් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ හරහා වෘත්තීය දැනුමෙන් පොහොසත් තරුණ ව්‍යවසායකයින් ලෙස ඔවුන්ව සමාජගත කිරීම මගින් රැකියා ගැටළුවට මෙන්ම, ඇතිවිය හැකි බොහෝ සමාජීය ගැටලු වලට විසදුමක් ලබා ගත හැකිවෙනවා. රට හදන සෞභාග්‍යයේ දැක්ම යතාර්ථයක් කරමින් ග්‍රාමීය ජනතාවගේ යෝජනා සහ අදහස්වලට ප්‍රමුඛත්වය ලබා දීම සඳහා ජාතික වැඩසටහනක් අපි සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාවට නංවා තිබෙනවා.

    සෑම ගමකටම අවශ්‍ය නිවාස, විදුලිය, ජලය, ප්‍රවේශ මාර්ග, අලුත්වැඩියා කළ යුතු වැව් අමුණු හා ඇළ මාර්ග මෙන්ම අලුතින් ආරම්භ කළ යුතු ව්‍යාපෘති හඳුනාගෙන 2021 අය වැය ප්‍රතිපාදන හරහා එම කටයුතු සෘජුවම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර භික්ෂූන් වහන්සේලා සහ සිසු දරුවන් සඳහා තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් ගෝමරන්කඩවල ප්‍රදේශයේ ඉදිකිරීමට කඩිනමින් කටයුතු කරනවා. විදේශ රැකියා ක්ෂේත්‍රයේ ජපන් රැකියා අවස්ථා සඳහා අවශ්‍ය ජපන් භාෂා දැනුම ලබාදීමේ ගැටලුවට විසඳුම් ලෙස ජපන් භාෂාව දෙමළ බසින් ඔන්ලයින් හරහා ඉගැන්වීමේ ක්‍රමවේදයක් සකස් කරන්න.

    විදේශ නියුක්ති කාර්යාංශයට එය ඉටු කළ හැකියැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව විදේශ නියුක්ති කාර්යාංශයේ භාෂා පුහුණු මධ්‍යස්ථානය සඳහා ත්‍රිකුණාමලය නගර සීමාව තුළ නව ගොඩනැගිල්ලක් ලබා දීමට මෙහිදී යෝජනා විය. ජාත්‍යන්තර පදක්කම් දිනන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිවාස ලබා දීමේ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා නව නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව කඩිනමින් කටයුතු ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එම නිවාස ව්‍යාපෘතිය තුළ විදේශ පුහුණුකරුවන් හට නවාතැන් පහසුකම්, දුර පළාත් වලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තාවකාලික නවාතැන් පහසුකම් ලබා දීමටත් හැකි පරිදි සකස් කරන බව හෙතම පෙන්වා දුන්නේය.

     අද අපිට මෙම ගැටලු හඳුනා ගත හැකි වූයේ ගමේ ගැටලු ගමටම පැමිණ සාකච්ඡා කළ නිසයි. ග්‍රාමීය ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා නොදී රටකට ඵලදායී සංවර්ධන ඉලක්කයන් වෙත ලඟා වන්න බැහැ. 2015 වසරේ පත්වූ යහපාලන ආණ්ඩුව රටේ පමණක් නොව ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය බිඳ වැටෙන ලෙස කටයුතු කළා. යෝධ සංවර්ධන ව්‍යාපෘති නතර කර මිනිසුන්ට නිදහසේ ජීවත්වීමට තිබූ සමාජ පසුබිමද ඉතා දරුණු ලෙස බිඳ දැමුවා. සමාජයීමය, ආර්ථිකමය වශයෙන් මුලු රටම අඳුරේ ගිලෙමින් තිබෙන අවස්ථාවක ''රට හදන සෞභාග්‍යයේ දැක්ම'' වෙනුවෙන් එක්වූ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් වත්මන් රජය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් නායකත්වය යටතේ යළිත් සංවර්ධන කටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කරගෙන යනවා.

    ගෝලීය වසංගතයට රට මුහුණ පා තිබෙන දුෂ්කර අවස්ථාවක වුවත් එදා රට භාරගනිද්දී පොරොන්දු වූ පරිදිම ජනතාවත් ආරක්ෂා කරගෙන, සංවර්ධන කටයුතු නොකඩවා කරගෙන යනවා. රටක් ලෙස සැම අංශයක්ම නිවැරදිව කළමණාකරනය කිරීමේ හැකියාව, ශක්තිය අපේ නායකයින්ට, අපේ රජයට තිබෙනවා. රට ආපස්සට ගෙන ගිය යහපාලන වසර 05 ගැන සිතමින් ඒවාට දොස් නගමින්, විවේචනය කරමින් නොසිට හෙට ගැන සිතා ජනතාව වෙනුවෙන් සංවර්ධන කටයුතු ඉදිරියටම ගෙනියන්න අපි කටයුතු කරනවා යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    Latest News