පාස්කු නිර්දේශ ගැන ඇමැති අනුකමිටු වාර්තාව සඳුදා ජනපතිට

අප්‍රේ 03, 2021

    පාස්කු ප්‍රහාරයේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දීමට නියමිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මිනුවන්ගොඩ පක්ෂ කාර්යාලයේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙම වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමෙන් අනතුරුව,ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නැවත අධීක්ෂණය කර එය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කෙරිණ.

    ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ,උදය ගම්මන්පිල,ප්‍රසන්න රණතුංග,ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    නව කමිටුව වාර්තාව පසුගිය 15 වැනිදා බාර දීමට නියමිතව තිබූ අතර වැඩිදුර විමර්ශනය සඳහා තවත් සති දෙකක කාලයක් ලබා දෙනු ලැබීය.

    එම කාලසීමාව පසුගිය 30 වැනිදායින් අවසන් වූ අතර කමිටු වාර්තාව ලබන සඳුදා කැබිනට් මණ්ඩල රැස්වීමට ප්‍රථම කමිටු සාමාජිකයින් විසින් ජනාධිපතිවරයාට ලබාදීමට නියමිතයි.

    Latest News