පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය අද ඇරඹේ

මාර් 25, 2021

    අක්කර ලක්ෂයක් වන ලංකාවේ මුළු පුරන් කුඹුරු ප්‍රමාණයෙන් යල කන්නය වෙනුවෙන් අද දින ගොවිජන සේවා මධ්‍යස්තාන 320ක පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

    මේ අනූව ජාතික උත්සවය දොම්පේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ පහුරු ඔය ප්‍රදේශයේ අක්කර 140ක කුඹුරු යාය අස්වැද්දීම සිදුකරන බවද පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීමෙන් යල කන්නයේ මෙට්‍රික් ටොන් 35,000ක් වී අස්වැන්නට එකතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    සියලු පුරන් කුඹුරු වල ඇළ මාර්ග සුද්ද පවිත්‍ර කර පිළිසකර කර දෙන බවද ගොවි මහතුන් හට අක්කරයකට රුපියල් 25,000 බැගින් පොළී රහිත ණය ලබාදීමට නියමිතය.

    මේ සදහා පොහොර, තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර පහසුකම් රජයෙන් නොමිලේ ලබාදීමට නියමිත වන අතර එක් ගොවිජන සේවා බල ප්‍රදේශයක අක්කර 10 බැගින් මේ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීම අනිවාර්යය කොට ඇත.

    පළමු අදියර වශයෙන් අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බවද, ඉන්පසු 22,000ක් ද දෙවන අදියර යටතේ අක්කර 50,000ක්ද පුරන් කුඹුරු අස්වැද්දීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසුවේය.

    මෙම වසරේ සියලු පුරන් කුඹුරු අස්වද්දා පුරන් කුඹුරු කියන එක කෘෂිකර්මාන්තයේ ශබ්ද කෝෂයෙන් ඉවත් කිරීමට මෙන්ම සියලුම කුඹුරු ගොවීන් විසින් අස්වැද්දීමේ වැඩසටහනකට යාමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

    මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හාල් හිගයක් පවතින බවට සහ හාල් මිල වැඩි බවට විවිධාකාරයේ පුවත් පළ වන බව සිහිපත් කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ කන්නයේ හෙක්ටයාර 764,000ක් එනම් වී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක් වගාකර ඇති අතර යල කන්නය සදහා මිලියන 1.8ක් වගා කිරීමට බලාපොරොත්තු වන බවයි.

    ඒ අනූව 2021 අවුරුද්දේ වී මෙට්‍රික් ටොන් මිලියන 05ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවය.

    Latest News