වතු කම්කරු වැටුපට එරෙහි වතු සමාගම් ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන 26

මාර් 22, 2021

    තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් විසින් ගොනු කර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වන දා කැඳවන ලෙසයි.

    ආගරපතන වැවිලි සමාගම , ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු සමාගම් 20 දෙනෙක් විසින් ගොනු කර තිබෙනවා.

    එහි වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රබාත් චන්ද්‍රකීර්ති , තේ කර්මාන්තය පිළිබද පඩිපාලක සභාවේ සභාපතිවරය ඇතුළු 18 දෙනෙකු නම් කරනු ලැබ සිටිනවා.

    පසුගිය දා තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් විය යුතු බවට රජය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළා.

    මෙලෙස තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට පත් කිරීමට පඩි පාලක සභාව අනුමත කිරීම අය වැය වාර්තාවටද ඇතුළත් කර තිබෙන බව පෙත්සමේ සඳහන්.

    මෙය නීතිවිරෝධී තීන්දුවක් බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් හදිසියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම වතු කර්මාන්තය අර්බුදයකට ලක් වීමට ඉඩ තිබෙන බව ඔවුන් පවසනවා.

    පෙත්සම්කාර වතු සමාගම් රජයට විශාල වශයෙන් බදු ප්‍රමාණයක් රජයට ගෙවිය යුතු බවත් මෙම වැටුප් වැඩි කිරීම තුළින් සමාගම් අපහසුතාවයට පත් වින බව ද ඔවුන් පෙන්වා දෙනවා.

    එබැවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් , තේ කර්මාන්තයේ නියැලෙන කම්කරුවන්ට දෛනික අවම වැටපු රුපියල් 1000ක් බවට ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදචනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් තම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News