අල්ලස් කොමිසමෙන් පැවරූ නඩු 45ක් ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇතැයි හෙළිවෙයි

මාර් 22, 2021

    අල්ලස් කොමිසමේ සභාපති ඇතුළු කොමසාරිස්වරු තිදෙනාගේ පූර්ව අනුමැතියකින් තොරව පසුගිය කාලයේ ගොනු කළ නඩු 45 ක් පමණ ඉල්ලා අස්කර ගැනීමට එම කොමිසමේ නව පාලනාධිකාරිය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද ප්‍රකාශ කෙරුණා.

    අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ ලක්සල ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශයට පත්කිරීම තිබෙන "අනෝමා පොල්වත්ත" නඩු තීන්දුව මගින් අල්ලස් කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනාගේ පූර්ණ අනුමැතියකින් තොරව නඩු පැවරීම නීති විරෝධී බවට තීන්දු කර ඇතැයි සඳහන් කළා.

    එම නඩු තීන්දුව අනුව යමින් අල්ලස් කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනාගේ පූර්ණ අනුමැතිය නොමැතිව පසුගිය කාලයේ පැවරූ නඩු ඉල්ලා අස්කර ගැනීමට එහි නව සභාපතිවරිය ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනා තීරණය කර ඇති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

    ඒ යටතේ ඉකුත් කාලයේ පැවරූ අල්ලස් නඩු 45 ක් පමණ ඉල්ලා අස්කර ගැනීමට නියමිත බවද ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ සඳහන් කළා.

    මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීනිය සඳහන් කළේ වර්තමානයේ අධිකරණය පවතින මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි.

    ඒ අනුව නඩුව නැවත ජුනි මස 4 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා එදින නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද? යන්න පිළිබඳව අධිකරණයට දැනුම් දෙන්නැයි අල්ලස් කොමිසමේ නීතිඥවරිය නියෝග කළා.

    ලක්සල ආයතනයට අයත් වෙළෙඳ කුටියක් ඉදිකිරීමේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට එහි හිටපු සභාපති අනිල් කොස්වත්ත ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News