සපුගස්කන්ද - ආසාදිතයින් 474ක් වාර්තාවීම ගැන සෙවීමට පංච පුද්ගල කමිටුවක්

මාර් 22, 2021

    කොරෝනා ආසාදිතයන් 474 දෙනෙක් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් හඳුනාගෙන තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

    බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්ද්‍රිකා ඇතුගල මහත්මියගේ සභාපතීත්වයෙන් මෙම කමිටුව පත්කර ඇත. කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ බලශක්ති අමාත්‍ය උපදේශක ලලිත් වසන්ත,ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිහේවා,බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයනා සේනාරත්න, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වෛද්‍ය නිලධාරිනි රෝෂිණී රුසිරිවර්ධන යන මහත්ම මහත්මීන්ය.

    වසර තුනකට වරක් සිදුකෙරෙන පිරිපහදුවේ නඩත්තු කටයුතු මේ දිනවල සිදුවෙයි. එබැවින් වෙනදාට වඩා වැඩි සේවක සංඛ්‍යාවක් තෙල්පිරි පහදුවේ කටයුතුවල දෛනිකව නියැලෙන තත්වයක් තුළ මෙම රෝගීන් වාර්තාවීම සිදු වෙයි.

    කළමණාකාරීත්වයේ කිසියම් අතපසුවීමක්,සෞඛ්‍ය උපදෙස් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමක් හෝ වෙනයම් සාධකයක් මෙම කොරෝනා ව්‍යාප්තියට බලපා ඇත්දැයි,සොයා බැලීම මෙම කමිටුවේ කාර්යභාරයයි. කමිටුව විසින් දින 10ක් තුළ මේ සම්බන්ධ වාර්තාවක් බලශක්ති අමාත්‍යවරයා වෙත ලබාදිය යුතුයි.

    Latest News