අභ්‍යාසලාභි උපාධිධාරීන් 10,000ක් අද සිට ‍ස්ථිර රාජ්‍ය සේවයට

මාර් 22, 2021

    අභ්‍යාසලාභි උපාධිධාරීන් 10,000ක් අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

    රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන්නේ,ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ පරිදි රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ විමසීමකට ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා...

    “රජයක් ලෙස අපේ දැක්ම උගත් තරුණ පිරිස මේ රටේ සංවර්ධනයට සෘජුව දායක කර ගැනීමයි. මේ සඳහා තමයි අපි උපාධිධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට පියවර ගත්තේ. ඒ වගේම යහපාලන රජය බඳවා ගත් 14000ක් පමණ වන උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් දස දහසක පිරිසක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ කටයුත්ත අද සිට අපේ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනවා.

    මේ අයගේ අභ්‍යාසලාභී කාලය අවසන් වී තිබුණත් පවතින කොරෝනා වසංගත තත්ත්වය තුල මේ අය ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තිබුන සැලැස්ම අපට අවශ්‍ය පරිදි සිදුකරන්න බැරි වුණා. සමස්ත රාජ්‍ය සේවයේම පැමිණීම දැඩිලෙස සීමාකර තිබූ නිසා මේ අභ්‍යාසලාභීන්ගේ තොරතුරු ගෙන්වා ගෙන ඔවුන් සම්මුඛ සාකච්ඡාවකට ගෙනැවිත් ස්ථිර කිරීමට අදාළ පියවර ගැනීමට නොහැකි වුණා.

    කොහොම වුණත් මේ පැවති තත්ත්වය සමනය වුන ගමන් යලිත් මේ ස්ථිර කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට අමාත්‍යංශ නිලධාරීන් පියවර ගත්තා. සීමිත මානව සම්පතක් උපයෝගී කරගෙන මේ 10,000 දෙනාගේ ලියකියවිලි සියල්ල ගෙන්වාගෙන මේ වෙනකොට ස්ථිර කිරීමේ කටයුත්ත සාර්ථකව අවසානයක් දක්වා ගෙනැවිත් තිබෙනවා.

    අද (22) සිට මේ පත්වීම් ලිපි දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් බෙදා හැරීම සඳහා පියවර ගෙන තිබෙනවා. 

    Latest News