හිටපු අගවිනිසුරුට එරෙහි නඩුව ඉල්ලා අස්කරගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි

මාර් 16, 2021

    හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තාක්ෂණික දෝෂයක් නිසා එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂීණී සේනානායක මහත්මිය විසින් මෙම දැනුම් දීම සිදු කළේය.

    ඒ අනුව අදාළව කරුණු තහවුරු කිරීම සඳහා නඩුව මාර්තු මස 30 වැනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

    අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීති නිලධාරිනිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව පැවරීමට එරෙහිව විත්තිකාර මොහාන් පීරිස් මහතා ඇතුළු පිරිස ඉදිරිපත් කළ රිටි පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවන ලෙස දන්වමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බව පැවසීය.

    ඒත් එම නඩුව විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ අවසර දී ඇතැයි ද ඇය පෙන්වා දුන්නාය.

    කෙසේවෙතත් එම නඩුවේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවද අල්ලස් කොමිසමේ නීති නිලධාරිනිය අධිකරණයට දැනුම් දුන්නේය.

    ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව හා මීට අදාළ වැඩිදුර කරුණු දැක්වීම් ඉදිරිපත් කිරීම සඳහා නඩුව මාර්තු මස 30 වැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය.

    2010 වසරේ දෙසැම්බර් මස පලවන ගසා එම මස තිස් වනදා අතර කාලය තුළ ලංකා විදුලි සමාගමට ඉඩමක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් එම සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීති පියවර ගැනීමට නිසි උපදෙස් ලබා නොදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම් ඩී නවාස් සහ මත අංශයේ හිටපු ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබිණ.

    Latest News