ඉන්දීය නාවික හමුදාවෙන් නාවික හා සාගරික විද්‍යා පීඨයට ඉගෙනුම් ආධාරක

මාර් 15, 2021

    ඉන්දියානු නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨය වෙත ටොපිඩෝ සහ ගෑස් ටර්බයිනයක කැපුම් ආකෘති ඇතුළු ඉගෙනුම් ආධාරක‍ කිහිපයක් ප්‍රදානය කර තිබේ.

    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව අතර සුහදත්වය වර්ධනය කිරීමක් වශයෙන් ඉන්දියානු නාවික හමුදාව වෙතින් ලබා දුන් ටොපිඩෝ සහ ගෑස් ටර්බයිනයක කැපුම් ආකෘති ඇතුළු ඉගෙනුම් ආධාරක‍ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත ලබා දීම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා විසින් ඊයේ (14) දින සිදු කෙරිණි.

    ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරන්බීර් සිං (Karanbir Singh) 2019 වර්ෂයේ නාවික හා සාගරික විද්‍යාපීඨයට පැමිණි අවස්ථාවකදී ලබා දුන් පොරොන්දුවක් මත මෙම ඉගෙනුම් ආධාරක ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා විසින් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න වෙත නිල වශයෙන් භාරදීම සිදු කෙරුණු අතර, මෙම ඉගෙනුම් ආධාරක නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රති සබ්මැරීණ යුධ උපක්‍රම, නාවික දැනුම, ජලතරණය, සහ ඉංජිනේරු යන පාසල් තුල පුහුණුවන නිලධාරීන් සහ නාවිකයින්ගේ ඉදිරි පුහුණු කටයුතු සඳහා මනා පිටුවහලක් වනු ඇත.

    තවද මෙම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ අඥාපති කොමදෝරු ධම්මික කුමාර, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) ඇතුලු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

    Latest News